තමිල්නාඩුවේ දේශපාලනය සහ සිනමා තරු

  • 2016 අප්‍රේල් 28
ජය ලලිතා
Image caption සිනමා තරු දේශපාලනයට පැමිණිම යහපත් තත්වයක් නොවන බවයි තමිල්නාඩුවේ ඇතැමකුගේ අදහස

රිදී තිරයෙන් දේශපාලන වේදිකාව අතික්‍රමණය කළ සිනමා තරු පිළිබඳ ලොව උදාහරණ එමටයි.

එයිනුත් දකුණු ඉන්දීය දේශපාලන වේදිකාව තුළ සිනමා තරු තබා ඇති සලකුණ සුවිශේෂයි.

අඩ සියවසකට අධික කාලයක් පුරා තමිල්නාඩු දේශපාලන වේදිකාව ආක්‍රමණය කොට සිටින්නේ හිටපු සිනමා තරුයි. (හඬ පටයට සවන්දෙන්න)

දකුණු ඉන්දීය සිනමා රසිකයන්ගේ හදවත් සොරා ගත් රිදී තිරයේ තරු දේශපාලන වේදිකාව ආලෝකමත් කිරීමේ රහස කුමක්ද?

1967 වසරේ සිට වර්තමානය දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධුරයේ හොබවා ඇත්තේ සිනමා කර්මාන්තයේ සිට දේශපාලනයට පිවිසි පුද්ගලයන් විසින් යැයි දකුණු ඉන්දීය සිනමා විශ්ලේෂක මොහාන් රාමන් පවසයි.

කිරුළු නොපලන් රජු

'ඉතාමත් සාර්ථක සහ ප්‍රසිද්ධම දේශපාලනඥයා තමයි ආචාර්ය එම්ජීආර්. වඩාත්ම රසිකාදරයට පත් ප්‍රධාන අමාත්‍යවරයා සහ තමිල්නාඩුවේ කිරුළු නොපලන් රජු ලෙස එම්ජී රාමචන්ද්‍රන් හැඳින්විය හැකියි. ඉන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ජයලලිතා.' මොහාන් රාමන් කියා සිටියේය.

තමිල්නාඩු වාසීන් තම දෙමව්පියන්ටත් ඉහළින් දකුණු ඉන්දීය සිනමා තරුවලට ආදරය කරන බවයි ඇතැමකුගේ අදහස.

දකුණු ඉන්දීය රංගන ශිල්පියකු සහ ප්‍රහසන ශිල්පියකු වන ටීඑම් කාතික් පවසන්නේ සිනමා වීරයන් තමිල්නාඩු වැසියන්ගේ වන්දනාමානයට ලක් වන බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීම සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන මැයි 16 වනදායි.

ජයලලිතා

'ඒ දවස් වල ජයලලිතා හොඳ නිළියක්. ඒ වගේම ඇය ප්‍රාන්ත මහඇමතිවරිය වශයෙන් කටයුතු කරනවා. අපි ඡන්දේ දෙන්නේ ජයලලිතට,' තමිල්නාඩුවේ වර්තමාන ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම්ගේ රැළියකට පැමිණ සිටි ආධාරකාරියක් පවසන්නීය.

'අපි ජයලලිතාට ආදරෙයි. එම්ජීආර් සහ අනෙක් නළුවන් සමග ඇය රඟපාපු චිත්‍රපටි බලන්න අපි ගොඩක් කැමතියි.' තවත් ආධාරකාරියක් දොඩමලු වෙයි.

කුමක්ද මේ ජනතා හදවත් සොරා ගැනීමේ රහස් වට්ටෝරුව?

ඒඑම්ඩීකේ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට පිවිස සිටින සීආර් සරස්වතී දකුණු ඉන්දීය සිනමාවේ හිටපු නිළියක්.

'එකක් තමයි ප්‍රසිද්ධිය. කාවවත් හඳුනන්නේ නැති පුද්ගලයෙක් යම් ස්ථානයකට ගිය විට කිසි කෙනෙක් ඇවිත් ඔහුට කතා කරන්නේ නැහැ. ඔහුන්ට තමුන් කවුද කියලා හඳුන්වලා දෙන්න සිද්ධ වෙනවා. කරුණාකරලා මට ඡන්දෙ දෙන්නේ කියලා ඔවුන්ට කියන්න සිද්ධ වෙනවා. නමුත් සිනමා තරුවක් දැක්කොත් ඔවුන් වෙත මිනිස්සු ඇදී එනවා' ඇය කියා සිටියි.

හදවත් සොරා ගැනීම

කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රාන්ත මැතිවරණයට තරඟ වදින කුශ්බු සුන්දර් තවමත් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන නිළියක්.

'චිත්‍රපට කර්මාන්තයේ සිට දේශපාලනයට පැමිණීම ඉතා පහසු දෙයක්. නමුත් දේශපාලනය තුළ රැඳී සිටිමින් දේශපාලනඥයෙක් බවට පත් වීම දුෂ්කර කාර්යයක්. මොකද දේශපාලනයට පා තබපු සැනින් අහංකාරකම පසෙකින් තබන්න සිදු වෙනවා.' ඇය පැවසුවාය.

සිනමා විශ්ලේෂකයෙක් මොහාන් රාමන්ගේ අදහස නම් සාමාන්‍ය ජනතාව විසින් තමන්ගේ අයකු ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයන් දේශපාලනය තුළ සාර්ථකත්වයට පත් වන බවයි.

'උදාහරණයකට එම්ජීආර්, සාමාන්‍ය පුද්ගලයන්ගේ චරිත රඟ පෑවේ. ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය මිනිසුන් විසින් ඔහු ඉහළට ඔසවා තබනු ලැබුවා. මිනිස්සුන්ගේ සිත් තුළ මැවෙන ඒ සෙලුලොයෝඩ් චරිතය මහජන සේවය තුළත් ඒ ආකාරයටම ඇති කරන්න හැකි නම් ඒ අයට දේශපාලනය තුළ සාර්ථක විය හැකියි.' ඔහු කියා සිටියේය.

වෙනත් ක්ෂේත්‍ර

නමුත් සිනමා තරු දේශපාලනයට පැමිණිම යහපත් තත්වයක් නොවන බවයි තමිල්නාඩුවේ ඇතැමකුගේ අදහස.

පීඑම්කේ පක්ෂයේ නායක අම්බුමානි රාමදෝස් ඒ අතරින් එක් අයෙක්.

'මම හිතන්නේ නැහැ අවුරුදු පනහක් තිස්සේ සිනමා කර්මාන්තයට අයත් පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තයක් හෝ රටක් ලෝකේ කොහෙවත් ඇති කියලා . ඇයි වෛද්‍යවරයකුට, ඉංජිනේරුවකුට, නීතිඥයකුට හෝ ඉහළ අධ්‍යාපනයක් ලැබූ වෙනත් අයකුට බලයට එන්න බැරි. සරලව මට දැන ගන්න අවශ්‍ය එපමණයි.' ඔහු පැවසීය.

දකුණු ඉන්දීය තරු සහ තමිල්නාඩු දේශපාලනය අතර දීගය කෙදිනක නිම වේදැයි යන්න කිසිවකුටත් කිව නොහැකියි.