යාල කොටියෙක් කිඹුල් ප්‍රහාරයකින් මිය යයි

Image caption වාසභූමි සහ සහකාරියන් වෙනුවෙන් සටන් කර පිරිමි කොටියන් මිය යාම සාමාන්‍ය තත්වයක් බව වන ජීවී නිලධාරීහු පවසති (සංරක්ෂිත ඡායාරූපයක්)

කතරගම යුද හමුදා භට පිරිසක් විසින් වන ජීවී නිලධාරීන්ට භාර දෙනු ලැබූ කොටියාගේ මරණයට හේතුව කිඹුලෙකුගේ ප්‍රහාරයක් බව, වන ජීවී නිලධාරීන් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමණය වී තිබේ.

කතරගම ගල් අමුණ ප්‍රදේශයේදී මැණික් ගඟේ ගසාගෙන ආ කොටියාගේ මල සිරුර කතරගම කටගමුව යුද හමුදා නිලධාරීහු පසුගියදා වන ජීවී නිලධාරීන්ට භාර දුන්හ.

කොටියාගේ ඇඟේ කිඹුල් දත් පැහැර දක්නට ලැබුණ අතර, මියගොස් තිබෙන්නේ වයස වුරුදු 08 ක් පමණ පිරිමි සතකු බවත් උඩවලව ඇත් අතුරු සෙවනේදී පශු වෛද්‍ය ඩබ්ලිවු ඒ ධර්මකීර්ති විසින් සිදුකරන ලද මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

කිඹුල් ප්‍රහාරයකින් කොටියකු මිය යාම මෑතදී යාල ප්‍රදේශයෙන් වාර්තා වී නැති බවත් පශු වෛද්‍ය ඩබ්ලිවු ඒ ධර්මකීර්ති සඳහන් කළේය.

අතීතයේ සිදු වූ එවැනි ප්‍රහාර පිළිබඳව වන ජීවී නිලධාරීන් තමන්ට දැනුම් දී තිබෙන බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කළ විමසීමකදී කියා සිටි පශු වෛද්‍යවරයා, එමෙන්ම වල් ඌරන්ගේ ප්‍රහාරවලින් කොටියන් මිය යාම මීට ඉහතදී වාර්තා වී තිබෙන බවත් පැවසීය.

වාසභූමි සහ සහකාරියන් වෙනුවෙන් සටන් කර පිරිමි කොටියන් මිය යාම සාමාන්‍ය තත්වයක් බවත් පශු වෛද්‍ය ධර්මකීර්ති වැඩිදුරටත් පැවසීය.