මාධ්‍යවේදීන්ට තර්ජනය කළා නම් 'සමාව ඉල්ලනවා'

Image caption පොලිසිය මාධ්‍යවේදීන් දඩයම් කරන්නේ නෑ - පොලිස්පති පූජිත ජයසුන්දර

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නම්, පොලිස් ප්‍රධානියා වශයෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.

කෙසේ නමුත් ජනමාධ්‍යවේදීන්ට බැණ වැදුණු බවට එල්ල වන චෝදනාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා ප්‍රතික්ෂේප කරන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

පොලිස්පති පූජිත ජයසුන්දර ඒ බව පැවසුවේ උතුරේ දෙදින සංචාරයක් අතරවාරයේ වවුනියාවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

'කුඩු කාරයෝ සල්ලි දීල'

කෙසේ නමුත් 'මත්ද්‍රව්‍ය මාෆියාවේ' ජාවාරම්කරුවන් විසින් මාධ්‍යවේදීන්ට මුදල් ගෙවා තමන්ට අවශ්‍ය ආකාරයේ ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මාධ්‍ය හමුවකදී සඳහන් කළ හඬ පටය බීබීසී සංදේශය සතුවද තිබේ.

"ඒගොල්ල ගෙනාපු දේ තමයි ඒ කුඩුවලින් භාගයක් විශේෂ කාර්ය බලකාය අරගෙන ලක්ෂපතියෝ කෝටිපතියෝ උනා කියල," ඔහු සඳහන් කළේ අලුතින් පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ ඒකකයක් විසින් ශ්‍රී ලංකාවේ වැඩිම කොකේන් තොගය අල්ලා ගැනීම ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරය දැඩි විවේචනයට ලක් කරමින්.

"ඉතින් එහෙම අයට දඬුවම් දෙන්න අපි දන්නවා. විශේෂ කාර්ය බලකාය පාතාලේ උන්ට වගේම අපිට විරුද්ධ වුන්ටත් දඬුවම් දෙන්න දන්නවා."

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව කණගාටුව පළ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සෙනසුරාදා මාධ්‍ය අමතමින් පැවසීය.

විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානියාගේ එම ප්‍රකාශය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල දැඩි හෙලා දැකීමට ලක් විය.

කෙසේ නමුත් සඳුදා වවුනියාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පොලිස්පතිවරයා සඳහන් කළේ, ජනමාධ්‍යවලට තර්ජනයක් නොකළ බව නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා තමන් කළ විමසීමකදී කියා සිටි බවයි.

පොලිසිය මාධ්‍යවේදීන් දඩයම් නොකරන අතර, පොලීසිය සෑම විටම ජනමාධ්‍ය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් පොලිස්පති පූජිත ජයසුන්දර වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්