කළු ජූලිය: සංහිඳියාවකට ශ්‍රී ලංකාව සූදානම්ද?

Image copyright Chandraguptha Amarasinghe

කළු ජූලියට වසර තිස් තුනක් ගත වී ඇතත්, ඒ ඛේදවාචකය පිළිබඳව මහ ජාතියේ බොහෝ දෙනා තුල අනුකම්පාවක් හෝ නොමැත්තේ නම් රටක සංහිඳියාවක් ඇතිකරන්නේ කෙසේ දැයි මාධ්‍යවේදිනියක ප්‍රශ්න කරයි.

රටක ජාතීන් අතර සංහිඳියාව යනු දේශපාලන නායකයන් විසින් බලහත්කාරයෙන් ඇති කළ හැක්කක් නොව ජන මනසෙහිම මතු විය යුත්තක් බවයි, සිලෝන් ටුඩේ පුවත්පතේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් බීබීසී සංදේශයට කියා සිටියේ.

එහෙත් ඒ වෙනුවට සුළු ජාතීන් තමන් යටතේ වාසය කළ යුතුය යන්න එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවේ මතය වී තිබීම ඉතා කණගාටුදායක තත්වයක් බවත් ඇයගේ අදහසයි.

"නැත්නම් තවත් මනුස්සයෙක් විදියට ඒගොල්ලන්ට සලකන්න කැමති නෑ. මේ ඔක්කොම අපේ තමයි, ඕගොල්ල අපේ යටතේ ඉන්න ඕන කියන මතය හැම වෙලේම පෙන්නන එක තමයි හරි දුක."

මෙයින් තිස් තුන් වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටියදී, මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් එකතු වී එදා සිය ජීවිතය බේරා දුන් අන්දම ඇයට තවමත් මතකයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර අගනුවරට පැමිණි අවස්ථාවේයි, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ. (සංදේශයට සවන්දෙන්න)

Image copyright AP
Image caption කළු ජූලියේදී කලහකාරී සිංහල පිරිස් විසින් රට පුරා දෙමළ ජාතිකයන් හාරසීයත් තුන්දහසත් අතර සංඛ්‍යාවක් මරා දමනු ලැබිණ

"මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන්, සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විස්තර කළාය.

ඒ සියල්ලටත් වඩා සිය පියාගේ සමීපම මිතුරා වූ 'පොන්නයියා අන්කල්ට' අත් වූ ඉරණම ඇගේ පවුලේත් අනාගතය වෙනස් කළ ශෝචනීය අත්දැකීමක්.

වත්තල නගරයේ ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය 'පොන්නයියා අන්කල්' පණ පිටින් පුළුස්සා දැමූ ආකාරය සියැසින් දුටු සුලෝචනාගේ පියා ඒ වේදනාව මකා ගනු වස් මත්පැනට ලොල් විය.

සිය මිතුරාට කරදරයක් බව කණ වැකුණු ඇයගේ පියා එතැනට දුවගොස් තිබෙන්නේ ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු වූ වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාත් සමගින්.

"වත්තල හන්දියට යන කොටම දැක්ක, එයාගේ බඩට වෙනකම්ම අළු වෙලා තිබුණේ. ඒත් හුස්ම තිබ්බ. තාත්ත කිවුව එයා අත දික් කරා කියල අපේ තාත්තට."

සිදුවීම සැල වී එහි පැමිණි පොන්නයියාගේ බිරිඳ මහමඟ වාඩි වී සිය සැමියාගේ සිරුරේ අළු නාමින් හඬා වැළපුණු ආකාරය පියා දරුවන්ට විස්තර කළේත් කඳුළු අතරින්.

"අළු කටේ පවා දාගත්ත කියල, පොලවේ වැටී වැටී හැඬුවා කියල තාත්ත කිවුව."

එවන් අති ශෝචනීය අත්දැකීම්වලින් ගහන කළු ජූලියෙන් වසර 33 කට පසුව සහ යුද ගැටුම් හමාර වී වසර ගණනාවකුත් ගතවී තිබියදීත් ශ්‍රී ලංකාව තවමත් සංහිඳියාවකට සූදානම් හැඩක් පෙනෙන්නට නැති බවයි සුලෝචනා රාමයියා මෝහන් පවසන්නේ.

"කවුරුත් අද වෙනකම් වැරැද්දක් ඒගොල්ල අතින් උනා කියල පිළිගන්නේ නැති එක තමා ලොකුම හිතට වේදනාව."

ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරනු වස් වත්මන් ආණ්ඩුව කිසියම් උත්සාහයක යෙදී සිටින නමුත් රටවැසියන්ගෙන් එයට ලැබෙන සහයෝගය පිළිබඳව කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව ඇයගේ අදහසයි.

"මිනිස්සු තවම ලෑස්ති නෑ ඒකට එකඟවෙන්න."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්