ලාංකීය සිනමාවට අමතක වූ වාර්තා චිත්‍රපට

  • 2016 නොවැම්බර් 25
ගාලු චිත්‍රපට උළෙල Image copyright Sarwa Art & Media School

ශ්‍රී ලංකාවේ කලාත්මක සිනමාව ආරම්භ වීමට දශක කිහිපයකට පෙර වාර්තා චිත්‍රපට නිර්මාණය වුවද එවැනි චිත්‍රපට නිර්මාපකයින් ඇගයීමේ කිසිදු විධිමත් ක්‍රියාවලියක් නොමැති බව කලාකරුවෝ පිරිසක් පවසති.

සර්වා කලා සහ මාධ්‍ය ඇකඩමිය ඒ බව පවසන්නේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට සම්මාන උළෙලක් පැවැත්වීමට අදාළ කරුණු පැහැදිළි කරමිනි.

ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ ආරම්භය වාර්තා චිත්‍රපට වුවද, ප්‍රබල ලෙස වර්ධනය වූයේ විනෝදාස්වාදය මුඛ්‍ය අරමුණ වූ සිනමාව බව සුමුදු ගුරුගේ ප්‍රධානත්වය දරන සාර්වා කලා හා මාධ්‍ය ඇකඩමිය පවසයි.

"බුද්ධිමය ප්‍රජාවක් නිර්මාණය කළ හැකි වාර්තා චිත්‍රපට මාධ්‍යය කෙමෙන් දෙවන ධාරාවක් ලෙස පසු පසට තල්ලු වී, අද වන විට අතිශය දුෂ්කර අඩියකට පත් වී ඇත්තේය," යනුවෙන් ගාලු වාර්තා චිත්‍රපට උළෙලේ සංවිධායකයන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Image copyright Galle Documentary Film Festival

"කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයක මැදිහත් වීමක් නොවුනද,මෙම අසීරු තත්වයන් යටතේ පවා ලාංකීය වාර්තා චිත්‍රපට නිර්මාණකරුවන් පසුගිය වසර 70 ක පමණ කාලයක සිට ඉතා විශිෂ්ට නිර්මාණ ලෝකය වෙත ප්‍රදානය කොට,ඉතා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සම්මාන පවා ලබාගෙන ඇත්තේය," යනුවෙන් ද එයින් පෙන්වා දෙයි.

ගාලු වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන සංවිධායක මණ්ඩලයේ සේනාධි ගුරුගේ, සිනමා ලෝලීන් වාර්තා චිත්‍රපට කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බව බීබීසී සංදේශයට පැවසීය.

"එක ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ මිනිස්සුන්ට - සිංහල වේවා, දෙමළ වේවා - භාෂාව හම්බවෙලා ඇත්තටම අවුරුදු සීයක්වත් නැහැ," ඔහු පැවසීය.

"ඒකට හොඳම උදාහරණය තමයි අපේ ඉතිහාසයේ මිනිස්සු අධ්‍යාපනය හදාරපු ප්‍රධානම මාධ්‍යය බවට පත්වුණේ පන්සල් සහ කෝවිල්වල තිබිච්ච චිත්‍ර සහ මූර්ති සහ පන්සල්වල බණ මඩුවේ කියවපු පොත්පත්."

ලිඛිත භාෂාව සහ සාහිත්‍යය පරිශීලනය කිරීම ශ්‍රී ලංකාවාසීන්ට පරිනාමීයව උරුමවූවක් නොවන බැවින් වාර්තා චිත්‍රපටවල වැදගත්කම මේ මොහොතේ ඉස්මතුව පෙනෙන බව පෙන්වා දෙන සේනාධි ගුරුගේ,"තවමත් අපේ සමාජයට රූපය සහ ශබ්දය ඉතාම වැදගත්. මොකද ලිඛිත සාහිත්‍යය පරිශීලනය කරලා පුළුල් භාෂා ලෝකයක් තුළ තමන්ගේ ලෝක දෘෂ්ඨිය විශාල කරගන්න අදාළ දැනුමක් තවමත් අපේ සමාජයේ බහුතරයක් දෙනාට නැති නිසා,"යැයි කියා සිටී.

2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙල සඳහා දෙසැම්බර් 15 වෙනිදා තෙක් සිය නිර්මාණ ඉදිරිපත් කරන මෙන් සංවිධායකයෝ සිනමා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරති.

සම්පූර්ණයෙන් ම ප්‍රජාවෙන් ලැබෙන මුල්‍ය සහයෝගය මත යැපෙන මෙම උළෙලේ ප්‍රධානම හවුල්කරු ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය බව සංවිධායකයෝ පැවසූහ.

Image copyright Sumudu Guruge
Image caption ගාලු වාර්තා චිත්‍රපට උළෙලේ අධ්‍යක්ෂ සුමුදු ගුරුගේ

සබැඳි විෂයයන්