සීමා නීර්ණය කොමිෂන් වාර්තාව පිළිගැන්වීම ජනවාරි මාසයේ

  • 2016 දෙසැම්බර් 27
Image copyright Google Map

මැතිවරණ සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැන්වීම පිණිස ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොමිෂන් සභාවේ වාර්තාව පිළියෙල කොට අවසන් බැවින්, අගමැතිවරයා වෙත එය පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කොමිසම ඉල්ලීමක් කර තිබෙන බව අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

කොමිසම සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයන්ටද අවස්ථාවක් ලබාදීම් වස් ඒ සඳහා ඉදිරි සතියේ දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ කොමිසමට දන්වා ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

පළාත් පාලන සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදේශගතව සිටින බැවින් කොමිසමේ වාර්තාව භාරදීම සම්බන්ධ අර්බුදයකට මුහුණ දී සිටින බව කොමිසමේ සභාපති අශෝක පීරිස් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියට පවසා තිබුණි.

කොමිසමේ වාර්තාව නීත්‍යානුකූලව භාරදිය යුත්තේ විෂය භාර ඇමැතිවරයාට වුවත් අමාත්‍යවරයා විදේශගතව සිටියදී වැඩබලන ඇමැතිවරයකු හෝ පත්කර නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් පැනනැගී ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.

කොමිසම් වාර්තාව ගැසට්‌ නිවේදනයක්‌ මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් නොකළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳුදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්