දෝෂාභියෝගයක අදහසක් නෑ - ජීඑල්

  • 2017 ජනවාරි 10
මහාචාර්ය ජීඑල් පීරිස් Image copyright Getty Images
Image caption "අපි කිසිසේත් කතාකරල නැහැ දෝෂාභියෝගයක් ගැන. අතිගරු ජනාධිපතිතුමා ගැන පියවරක් ගැනීම ගැන කවුරුවත් සඳහන් කරලා නැහැ"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු බලයෙන් පහකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, 2017 ආණ්ඩුව පෙරළීම ජනාධිපතිවරයාට එරෙහි වැඩපිළිවෙලක් නොවන බවත් සඳහන් කළේය.

"අපි කිසිසේත් කතාකරල නැහැ දෝෂාභියෝගයක් ගැන. අතිගරු ජනාධිපතිතුමා ගැන පියවරක් ගැනීම ගැන කවුරුවත් සඳහන් කරලා නැහැ," ඔහු පැවසීය.

"මේ කතාකරන්නේ ජනාධිපතිතුමාට එරෙහි වැඩපිළිවෙලක් ගැන නෙවෙයි අගමැතිතුමාට හා ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහි වැඩපිළිවෙලක් ගැන."

අගමැතිවරයා පිළිබඳව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් නොමැති බව පැවසූ විට අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පෙන්වාදෙන හිටපු අමාත්‍ය ජීඑල් පීරිස්, ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එය බව පැවසීය.

Image caption මේ වසරේ ආණ්ඩුව පෙරලන බව හිටපු ජනාධිපතිවරයා පවසයි

තමාගේ සහ කතානායකවරයාගේ සහාය නොමැතිව ආණ්ඩු පෙරලිය නොහැකි බවට ජනාධිපතිවරයා පසුගියදා පලකළ අදහස ගැන කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයා, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙනස්කිරීමේ උත්සාහයට කතානායකවරයාගේ සහයක් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

විපක්ෂය පවසන පරිදි ආර්ථිකය කඩාවැටීම වැනි කරණාවලට වගකිවයුත්තේ ජනාධිපතිවරයා නොවේදැයි විමසූ විට එය තමන් පිළිනොගන්නා බව පැවසූ හිටපු විදේශ අමාත්‍යවරයා, ඊට වගකිවයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බවට චෝදනා කළේය.

කෙසේ නමුත් 2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් කළේ, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර