ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන රනිල් ඩාවෝස් සමුළුවේදී

  • 2017 ජනවාරි 18
අගමැතිවරයා ලෝක ආර්ථික සමුළුවේ Image copyright Getty Images

ජාත්‍යන්තර ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීම පහසු කිරීම උදෙසා ගනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ලබන මාසයේ ප්‍රකාශයට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සිය ආණ්ඩුවේ අභිලාශය බවත් අගමැතිවරයා කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී අදහස් දක්වමිනි.

ඒ සඳහා කොළඹ සහ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොල පදනම් කරගෙන ආර්ථික මධ්‍යස්ථාන දෙකක් දියුණු කරන අතර ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ආධාර සහිතව ත්‍රිකුණාමල වරාය දියුණු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකයේ වර්ධනය පිණිස ඉන්දියාව, චීනය සහ යුරෝපා සංගමය සමග විශේෂ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකරගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින අතර අනාගතයේදී ජපානය සහ පාකිස්තානය සමගත් එවැනි ගිවිසුම් ඇතිකරගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.

තමිල්නාඩුව, අන්ද්‍රා ප්‍රදේශ්, තෙලන්ගානා, කර්ණාටක සහ කේරල යන දකුණු ඉන්දීය ප්‍රාන්ත සමග විශේෂ ආර්ථික ගිවිසුම් ඇතිකර ගනිමින් ඩොලර් බිලියන 500 ක වත්මන් ආර්ථිකය ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම සිය ආණ්ඩුවේ අපේක්ෂාව බවත් අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ අගමැතිවරයාගේ ආර්ථික දර්ශනය සාක්ෂාත් කරගැනීම පිණිස ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ජාත්‍යන්තර දැනුම අවශ කරන බවය.

රවි කරුණානායක සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුද අගමැතිවරයා සමඟ ඩාවෝස් සමුලුවට සහභාගි වෙති. ශ්‍රී ලංකා අගමැතිවරයා මෙවර ලෝක ආර්ථික සමුළුවට සහභාගි වෙන්නේ දෙවැනි වතාවටය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර