සහල් මිල ගැන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාලන මිලට සහල් තිබෙනවාද?

  • 2017 පෙබරවාරි 15

ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වෙළඳපොලේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවත් සඳුදා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් හමුවුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේය.

සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබා දෙන මෙන් ජනාධිපතිවරයා එහිදී වෙළඳුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙටිට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සහල් මිල සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක යෙදින.

ඇතැම් ප්‍රදේශවල සහල් වෙළඳපොලේ එවැනි හිඟයක් පැවතියත් බොහෝ සුපිරි වෙළඳසැල්වල සහල් පාලන මිලට අලෙවි කෙරෙන බව බීබීසී යට දැනගැනීමට ලැබිණ.

එහෙත් කඩවීදියේ තත්වය එය නොවන බවයි කොළඹ පිටකොටුවේ සහල් වෙළඳපොලේදී සහ හලාවතදී හමුවුණු මේ වෙළඳුන් සහ පාරිභෝගිකයන් සංදේශයට කියා සිටියේ. (ඉහත වීඩියෝව නරඹන්න).

ශ්‍රී ලංකාවේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ පිණිස මෙන්ම ළඟ එන නියඟයට මුහුණදීම පිණිස ආණ්ඩුව සියලු සැලසුම් සකස්කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.