විනිසුරු පත්කිරීම: "සම්ප්‍රදායට එරෙහි නෑ"

  • 2017 පෙබරවාරි 21
ශ්‍රී ලංකා අධිකරණය

පෞද්ගලික සේවයේ නිරතව සිටි ආර් කන්නන් රාමනාදන් නීතිඥවරයා, යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කිරීම මගින් ශ්‍රී ලංකා විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාපිළිවෙත උල්ලංඝනය වී නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් පත්කිරීමේ දැනට පවතින ක්‍රියාදාමය දැනට වඩා විධිමත් විය යුතු බවත් සංගමයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"නමුත් මෙතෙක් අනුගමනය කරපු කාර්ය පටිපාටිය අනුව මේක ගැන දොස්කියන්නට බෑ," ඔහු පැවසීය.

නීතිඥ විජේනායක ඒ අදහස් පළ කළේ, විනිසුරු කන්නන් රාමනාදන්ගේ පත්වීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා සහ විනිසුරුවරුන්ගේ සංගමය මතුකරන විරෝධය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි.

විනිසුරුවරුවරයකු පත්කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥ සංගමයේ සභාපතිවරයා විධායක කමිටුවේ මතය විමසිය යුතු බව නීතිඥ සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය සඳුදා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

එහෙත් මෙතෙක් එවැනි සම්ප්‍රදායයක් නොපැවති බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

'එහෙම සම්ප්‍රදායක් නෑ'

"හුඟක් අවස්ථාවල විනිශ්චයකරුවන් පත්කිරීමේදී අහනවා නීතිඥ සංගමයෙන්. අහන්නේ සභාපතිගෙන් නේ? ඒක නීතිඥ සංගමයේ විධායක සභාවට දාල වාදයක් තියල, ඡන්දයක් තියල එහෙම කරන්නේ නෑනේ," නීතිඥ ලාල් විජේනායක පැවසීය.

"ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒක නොවිය යුතුයි මම කියන්නේ."

කන්නන් රාමනාදන් නීතිඥවරයා, යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නිර්දේශ කර ඇති බව තමන් කළ සොයාබැලීමේදී සනාථ වූ බව ද නීතිඥ විජේනායක පැවසීය.

වැඩිදුර කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

දේශපාලන පක්ෂයක් විසින් එම නිර්දේශය කර ඇතැයි එල්ලවන චෝදනාව ද දැඩිව ප්‍රතික්ෂේප කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

විනිසුරුවරුන්ගේ සංගමය වර්ජනය කිරීම හේතුවෙන් අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ද දින නියමයකින් තොරව කල් දමා තිබේ.

Image copyright BASL

සබැඳි විෂයයන්