ඉන්දීය ධීවරයන්ට 'වෙඩිතැබීම' ගැන පූර්ණ පරීක්ෂණයක්

  • 2017 මාර්තු 7
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා Image copyright Sri Lanka Navy
Image caption ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා

ඉන්දීය ධීවරයන් පිරිසකට වෙඩි තබා ඇති බවට පළවන වාර්තා සහ එක් ඉන්දීය ධීවරයකු මියගොස් තවත් ධීවරයකු තුවාල ලැබීම පිළිබඳව සිය බරපතල අවධානය යොමුවී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ධීවරයන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඉතා වැදගත්වන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, සියලුම අවස්ථාවල ඉන්දීය ධීවරයන්ට මානුෂික අයුරින් සැළකීම සහතික කිරීම උදෙසා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සියලු ආයතන කැප වී සිටින බව ද අවධාරණය කරයි.

ඒ බව සඳහන් වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් පිරිසකට වෙඩි තැබූ බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයකය.

අදාළ සිදුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

කවුරුන් විසින් කරනු ලැබුව ද, වෙඩි තැබීමක් සිදු වී තිබෙන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් බව සඳහන් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, ඉන්දීය ආණ්ඩුවේ සහාය ද සහිතව GPS තාක්ෂණය ඇතුළු පහසුකම් යොදාගෙන ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අවධාරණය කරයි.

නීතිවිරෝධී ලෙසින් ධීවර කර්මාන්තයේ නිරතව සිටි ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා නිවේදනය කළේය.