මාස තුනක් ඇතුලත ඩෙංගු මරණ 40 ක්

  • 2017 මාර්තු 28
ඩෙංගු මදුරුවා

දිවයින පුරා ඩෙංගු රෝගය මේ වනවිට පැතිර යමින් පැවතීම හේතුවෙන් මේ මස 29 වෙනි දින සිට යළිත් වරක් දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ගතව ගිය මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 24562 ක් වාර්තා වී ඇති අතර, ඉන් 40 දෙනෙකු මරණයට පත්වී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 'ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක' ලෙස නම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කීට විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවදානම් පරිශ්‍ර ලෙස හදුනාගෙන ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මෙහෙයවීමෙන් දියත් කෙරෙන මදුරු මර්දන සතිය පුරාවටම එම අවදානම් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ද නිවේදනයේ සඳහන්වේ.

H1N1 වෛරසය

දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළගම ඇති රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් වාර්තා වී තිබෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම වසරකම දෙසැම්බර් - පෙබරවාරි කාලය තුළ සහ මැයි සිට ජුලි දක්වා කාලය තුළ පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත මෙම වෛරසය පැතිර යන බව වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි විෂයයන්