රවිරාජ් ඝාතන නඩුව: 'නාවික හමුදා සෙබළුන් සොයාගන්න බෑ'

  • 2017 මාර්තු 28
රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් Image copyright AFP
Image caption ඝාතන නඩුවේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබු බැවින් එම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීමට මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාරිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා නිදොස් කොට නිදහස් කළ නාවික හමුදා සාමාජිකයින් තුන්දෙනා අධිකරණය මගහැර සිටින බව අභියාචනාධිකරණය හමුවේ අනාවරණය කෙරිණ.

ඒ බව අනාවරණය වූයේ, රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට ගන්නා මෙන් මහාධිකරණයට නියෝගයක් පනවන්නැයි ඉල්ලා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සශිකලා රවිරාජ් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලබූ අවස්ථාවේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන නිදහස් කෙරුණු නාවික හමුදා සාමාජිකයින් තිදෙනාට නොතීසි භාරදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම විත්තිකරුවන් තුන්දෙනා සොයාගත නොහැකි බවට නාවික හමුදාපතිවරයා දැනුම් දී ඇතැයි ද නීතිවේදියා පැවසීය.

'නීතියට පටහැනියි'

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අභියාචනාධිකරණය ගාමිණි හෙට්ටිආරච්චි, ප්‍රසාද් චන්දන කුමාර සහ ප්‍රදීප් චාමින්ද යන නාවික හමුදා සාමාජිකයින් තිදෙනා පිළිබඳව සොයා බලා ඔවුන් සිටිනා ස්ථාන පිළිබඳව අධිකරණයට වාර්තා කරන්නැයි රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන ජුනි මස 16 වනදා තෙක් කල් තැබිණ.

ඝාතන නඩුවේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබු බැවින් එම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීමට මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් තර්ක කරයි.

එබැවින් මහාධිකරණයේ තීරණය අවලංගු කොට නඩුව නැවත විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණය වෙත නියෝගයක් පනවන මෙන් ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.