සෝමාලි මුහුදු කොල්ලකරුවෝ ඉන්දීය නැවක් පැහැරගනිති

  • 2017 අප්‍රේල් 3
සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි. Image copyright AFP
Image caption සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි.

ඉන්දීය භාණ්ඩ නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති බව වාර්තා වේ.

නැව සෝමාලියාවේ වෙරළ තීරය දෙසට යාත්‍රා කරමින් පැවති බව ආරංචි මාර්ගයක් සඳහන් කළ ද, එහි ගමනාන්තය හෝ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

මෙම සිදුවීම වාර්තාවූයේ, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිතව මොගඩිෂු වෙත යාත්‍රා කරමින් තිබියදී සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඉන්ධන නැවක් නිදහස ලබා සති දෙකක් ඉකුත්ව යද්දීය.

එය 2012 වසරින් පසු සෝමාලි මුහුදු තීරය ආශ්‍රිතව වාර්තාවූ පළමු නැව් කොල්ලකෑම ලෙස වාර්තා විණි.

"ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් එය සෝමාලි වෙරළ තීරය දෙසට යාත්‍රා කරන බවත් අප දන්නවා." යැයි පුන්ට්ලන්ඩ් පළාතේ මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අබ්දිරිසාක් මොහමඩ් දිරිර් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක්

ජ්‍යාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහයෝගයේ එක් ප්‍රතිපලයක් ලෙස, කප්පම් ගැනීමේ මාර්ගයක් වශයෙන් පැවති සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි.

මුහුදු කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසරේදී එවැනි පහරදීම් 237ක් වාර්තාවූ අතර වාර්ෂික මුහුදු කොල්ලකාම්වල අගය ඩොලර් බිලියන 8 දක්වා ඉහළ ගියේය.

බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගෝර්ඩන් පවසන පරිදි, දශකයකට පමණ ඉහතදී සෝමාලි ධීවරයින් මුහුදු කොල්ලකෑම් සඳහා පොළඹවන ලද කරුණු තවමත් පවතී.

මේවනවිට සෝමාලියාව සාගතයකට ගොදුවී තිබේ. දුගී බව ව්‍යාප්තව ඇති අතර තරුණ පිරිසට රැකියා අවස්ථා අල්පය.

ආසියානු ධීවර යාත්‍රා මගින් ප්‍රදේශයේ මතය සම්පත සොරාගෙන යාම හේතුවෙන් එහි අර්බුදකාරී තත්වයක්ද හටගෙන ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර