ගාල්ලේ මුස්ලිම් සාන්තුවරයකුගේ සොහොනකට හානි

  • 2017 අප්‍රේල් 17

ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොනක් වටා තිබුණු බීරළු වැට කඩා දමා කිසියම් පිරිසක් විසින් එයට හානිකර තිබේ.

යුද හමුදා කඳවුරක් ආසන්නයේ ආරක්‍ෂිත භූමියක පිහිටා ඇති මෙම සොහොන සියවස් ගණනක් පමණ පැරණි බව විශ්වාස කෙරෙන අතර, එම සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති.

මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් (සාන්තුවරයා) ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාවගේ විශ්වාසයයි.

ලබන මැයි මාසයේ රාමදාන් උත්සවයට ආරම්භවීමට සතියකට පෙර මේ වසරේ එම උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා යුද හමුදාවද එම උත්සවයට පූර්ණ අනුග්‍රහය දක්වන බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පවසති.

ඒ පිළිබඳව ගාල්ල කොටුව මුස්ලිම් සංස්කෘතික සංගමය ගොනු කර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ සොහොන පිහිටා තිබෙන්නේ වෙරළ සංරක්ෂණ අධිකාරියට අයත් භූමියක බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටි ගාල්ල කොටුව යුද හමුදා කඳවුරේ නිලධාරියෙක්, ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන මෙන් තමන් මුස්ලිම් ජනතා නියෝජිතයන්ට උපදෙස් දුන් බවද පැවසීය.

අදාළ ඉඩම සම්බන්ධයෙන් හමුදා කඳවුරට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.