අඟුණකොලපැලැස්ස "ජාත්‍යන්තර" බන්ධනාගාරයට රාජ්‍ය ඇමතිගේ විරෝධය

  • 2017 අප්‍රේල් 22
Image copyright Department of Prison

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඉදි කෙරුණ බන්ධනාගාරයට තමන් එරෙහි බව ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි පවසයි.

රටපුරා සිටින අපරාධකරුවන් අලුතින් ඉදි කෙරුණු බන්ධනාගාරයට ගෙන ඒම තුළින් එම පළාතේ දෛනික ජීවිතයට බලපෑම් ඇති විය හැකි බව ඔහු කියා සිටී.

"මිනී මරපු, පාතාලේ අය, කුඩු ජාවාරම්කරුවන් මේ ඔක්කොම ගෙනත් දාන්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට. එතකොට ඒ අය බලන්න එන්නේ කොළඹ ඉන්න පාතාල කණ්ඩායම්. ඒ අය ඇවිල්ලා ගමේ උදවිය සමග සම්බන්ධකම් පවත්වලා අවුරුද්දක් දෙකක් යන විට විනාශය පෙනේවි" රාජ්‍ය ඇමතිවරයා කියා සිටියි.

වැලිකඩ බන්ධනාගාරය අවට එවැනි සමාජීය ප්‍රශ්න ඇති වී තිබෙන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

අදාළ ගොඩනැගිල්ල තුළ පාසලක් හෝ රෝහලක් ආරම්භ කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය ඇමතිවරයා බන්ධනාගාර ගොඩනැගිලි ඉදි කිරීමට රටේ ජනශුන්‍ය පළාත් තිබෙන බව සඳහන් කළේය.

"ජාත්‍යන්තර"

අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 44 ක ගොවි පොළක් තුළ නව බන්ධනාගාරය ඉදි කර ඇති බවත් ඔහු පවසයි.

එය ජාත්‍යන්තර බන්ධනාගාරයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ කුමක් නිසාදැයි බීබීසිය විමසූ අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම විටම කරන්න හැදුවේ ජාත්‍යන්තර නිර්මාණ. ජාත්‍යන්තර වරායක්. ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, සහ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්. ඒ අනුව මෙය ජාත්‍යන්තර බන්ධනාගාරයක්" යනුවෙන් පිළිතුරු දුන්නේය.

"මෙය ජාත්‍යන්තර කියන්නේ ලෝකේ හොඳම බන්ධනාගාරයක්. ඉතින් මේවා හදන්න ඕන මිනිස්සු නැති පළාතක නේද?" යනුවෙන් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්