ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා මුස්ලිම් කණ්ඩායමද?

  • 2017 මැයි 2
සංක්‍රමණිකයන් පිරිස Image copyright Sri Lanka Navy

පසුගිය ඉරිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ මියන්මාර ජාතික රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් පිරිස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති.

ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබෙන බවත් නීතිවේදියා සඳහන් කළේය.

නීතිවේදී ෂිරාස් නූර්දීන් ගේ උපදෙස් මත රුෂ්ඩි හබීබ් සහ ෂයිනාස් මොහමඩ් නීතිවේදීහු යාපනයේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහ.

Image copyright Sri Lanka Navy

කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පසුගිය ඉරිදා (අප්‍රේල් 30) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

"එක දරුවෙකුගේ වයස දවස් පහළොවයි. කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා,"යනුවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ ඉරිදා බීබීසී සිංහල සේවයට පැවසීය.

ඉන් අනතුරුව පොලිසිය වෙත භාරදුන් ඔවුහු යාපනය බන්ධනාගාරයේ තාවකාලිකව රඳවා සිටිති.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔවුන් පිරිස යාපනය පොලිසිය විසින් අඟහරුවාදා (මැයි 02) මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඉල්ලීමක් කළ නීතිවේදීහු ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් නොකරන ලෙසත්, ඔවුන් මිරිහාන ආගමන විගමන කඳවුර වෙත මාරු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සංක්‍රමණිකයන් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ IOM සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාලනය යටතට පවරන මෙන්ද සිය නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව නීතිඥ ෂිරාස් නූර්දීන් පැවසීය.

ඒ අනුව ඔවුන් අඟහරුවාදා යාපනය බන්ධනාගාරයේ රඳවා තබා බදාදා (මැයි 03) මිරිහාන රැඳවුම් කඳවුරට මාරු කරන මෙන් අධිකරණය නියෝග කළේය.

නීතිඥයන් කළ අනෙක් ඉල්ලීම් පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා මෙන් සහ සංක්‍රමණිකයන් පිරිසට අවශ්‍ය වෛද්‍යාධාර ඇතුළු සියලු පහසුකම් සලසන මෙන්ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසගේ සියලු අවශ්‍යතා සොයා බලා ඉතා කාරුණිකව සැලකූ බවද නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසීය.