චීන භාෂාව ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලාංකික සිසුන් චීන භාෂාව හැදෑරීමට මෙතරම් උනන්දුවක් ඇයි ?

  • 2017 ජුනි 7

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල විවිධ භාෂා හදාරන සිසුන් අතර චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීමට වැඩි උනනන්දුවක් පවතින බව විශ්වාස කෙරේ.

ආරම්භක විෂයක් ලෙස නූතන භාෂා අතරින් වැඩිම ඉල්ලුම තිබෙන්නේ චීන භාෂාවට බව කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය කුමාරි ජයසූරිය බීබීසි සිංහල සේවයට පැවසුවාය.

1994 වසරේ සිට විශ්වවිද්‍යාලයේ චීන භාෂාව උගන්වන නමුත් සිසුන්ට ඒ පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ 2010 වසරෙන් පසුව බවත් ඇය සඳහන් කළාය.

චීන භාෂාව උගන්වන සබරගමුව විශ්වවිද්‍යාලයේ ද සිසුන් බොහෝදෙනා අයදුම් කරන්නේ එම භාෂාව ඉගෙනීමට බව ආචාර්ය කුමාරි ජයසූරිය පෙන්වා දෙන්නීය.

චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීමට සිසුන් පෙළඹෙන්නේ එමගින් තමන්ට වැඩි රැකියා අවස්ථා හිමිවේය යන බලාපොරොත්තුවෙනි.

"මේ භාෂාව දැනගැනීමෙන්, අපිට පුළුවන් පරිවර්තන කටයුතු, සංචාරක මාර්ගෝපදේශනය, ඒ වගේම ලංකාවේ තියෙන චීන සමාගම්වල වැඩ කරන්න " යනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂා උපාධිය හදාරන සිසුවෙක් මෙම විෂය තෝරාගැනීමට හේතු පැහැදිලි කළේය.

කැළණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂාව උගන්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුවන නැදලගමුවේ ධම්මදින්න හිමියන් මැන්ඩරින් භාෂාව හැදෑරීමට යොමුවී තිබෙන්නේ 1994 වසරේදීය.

90 දශකයේ චීන භාෂාව හැදෑරීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල උනන්දුවක් නොවූවත් යුරෝපා රටවල් එම භාෂාව හදාරා චීනය සමග සම්බන්ධතා ඇති කරගෙන තම රටවලට ප්‍රතිලාභ ලබාගත් බව උන්වහන්සේ පෙන්වා දෙති.

"අපි ගොඩක් පසු කාලීනව තමයි හිතුවේ චීන භාෂාව අපිට වැදගත් වෙයි කියලා. ඒකත් මේ යම් යම්දේශපාලන ක්‍රියා හේතුවෙන් තමයි චීන භාෂාවේ වැදගත්කම අපේ රටට දැනුනේ."

මේ වසරේ පළමු වසර සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 193 දෙනෙකු කැළණිය විශ්ව විද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව තෝරාගෙන ඇති බව සඳහන් කරන නැදලගමුවේ ධම්මදින්න හිමියෝ, එය මව් බස ලෙස සිංහල භාෂාව හදාරන පිරිසට වඩා වැඩි ද යන සැකය තමන් තුළ පවතින බවත් වැඩිදුරටත් පැවසූහ.