මක්කම මහ පල්ලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක උත්සාහයක් - සවුදි අරාබිය

මක්කම Image copyright AFP/ Getty Images

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ පුද බිම වන මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ "ත්‍රස්තවාදී ක්‍රියාවක්" වැලැක්වූ බව සවුදි අරාබිය පවසයි.

ආරක්ෂක හමුදා මරාගෙන මැරෙන ප්‍රහාරකයා රැඳී සිටි ගොඩනැගිල්ල වැට ලූ අවස්ථාවේ ඔහු සිය බෝම්බය පුපුරවා ගත් බවත් සවුදි අරාබියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේ.

සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් බවට සැක කෙරෙන තවත් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් බලධාරීහු පවසති.

රාමදාන් උපවාස සමය අවසන් කිරීමේ උත්සවය සඳහා දස ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව මක්කම පුද බිමට රොක් වී සිටියහ.

Image copyright Reuters
Image caption ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේ

මෑත වර්ෂ කිහිපය තුළ සවුදි අරාබියට දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ අතර, එයින් බහුතරය තමන් විසින් එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය පිළිගෙන තිබේ.

ඒ අතරින් බොහෝ ප්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් සුළුතර ප්‍රජාව සහ ආරක්ෂක හමුදා ඉලක්ක කරගනිමිනි.

සවුදි අරාබිය, ඇමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් අයිඑස් සංවිධානයට සහ සිරියාවේ හා ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි සන්ධානයේ සාමාජිකයෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්