'කොලොන්නාවේ මැර බලය' ගැන මරික්කාර්ගෙන් පිළිතුරු

  • 2017 අගෝස්තු 18
මරික්කාර් මන්ත්‍රීවරයා

හම්බන්තොට වරාය චීනයට බදු දීමට සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීමට විරෝධය පාමින් පසුගියදා වැඩවර්ජනයක නිරත වූ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට පහර දුන් බවට ආණ්ඩුවට චෝදනා එල්ල විය.

එසේ පහර දුන් මැරවරයන් මෙහෙය වූවේ 'මරික්කාර්' නම් පුද්ගලයෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ.

එහෙත් විරුද්ධ පක්ෂය චෝදනා කරන මරික්කාර් සහ තමන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් අවධාරණය කරයි.

බීබීසී සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ එම චෝදනාව එල්ල කරන මෙන් ඔවුන් සියලු දෙනාට අභියෝග කරන බව ද සඳහන් කළේය.

මැර බලය

"මගේ ඉතිහාසෙට මම කොහෙද කුඩු කාරයෙක් එක සම්බන්ධවෙලා තියෙන්නේ? කොලොන්නාව මම උඩු යටිකුරු කරපු එක බයියන්ට හොඳටම වැදිලා තියෙන්නේ," යනුවෙන් සඳහන් කළ ඔහු මැරවරයන් මෙහෙයවන බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

"අතීතයේත් නෑ, වර්තමානයේත් නෑ, අනාගතයේත් නෑ."

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 32 දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුය යන්න සිය ස්ථාවරය බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විජේදාස රාජපක්ෂ

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට උත්සාහ කළ විශ්වාස භංග යෝජනාවට සිය සහාය හිමි වූ බව පවසන එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ ඉදිරියටත් ඇමතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හඬ නගන බවය.

"ආණ්ඩු පක්ෂයට එයා ගැන විශ්වාසයක් නෑනේ. සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම තියෙනව. අපි බලාපොරොත්තු වෙනව අපිට ඕන උත්තරේ ලැබෙයි කියල."

රාජපක්ෂ පරිපාලනයේ දූෂණ,වංචා සම්බන්ධයෙන් දඬුවම්දීම ඇතුළු සිය ආණ්ඩුව දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිදී ප්‍රමාදයක් තිබෙන බව පිළිගන්නා මන්ත්‍රීවරයා, එම ප්‍රතිඥා ඉටුකරගැනීම පිණිස පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිගින් දිගටම උද්ඝෝෂණය කරන බව ද බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’

එම ප්‍රතිඥා ඉටුකරන්නට අපොහොසත් වුවහොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පෙරලා ප්‍රශනයක් නැගූ ඔහු, "ඉල්ලා අස්වෙලා දූෂිතයන් එක්ක එකතුවෙන්න," දැයි බීබීසී යෙන් විමසීය.

කිසියම් ලෙසකින් රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල කළ චෝදනා සනාථ කරගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් සමාව ඉල්ලා සිටින්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "අපි සමාව ඉල්ලන්නේ නෑ," යනුවෙනි.

"එයාලට මේ වගේ කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ විශේෂ අධිකරණ දාල මේ පරීක්ෂණවල ප්‍රගතිය රටට හරියට දැනගන්න නොලැබීම නිසා. ඔන්න එතන තමයි අපිට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා එක්ක තියෙන ගැටලුව," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.