"තලාක් දික්කසාදය ව්‍යවස්ථා විරෝධීයි" - ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

  • 2017 අගෝස්තු 22
ක්ෂණික දික්කසාදය ව්‍යවස්ථා විරෝධී බවට නිගමනයක් දෙන්නැයි කාන්තාවෝ පස්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ Image copyright Getty Images
Image caption ක්ෂණික දික්කසාදය ව්‍යවස්ථා විරෝධී බවට නිගමනයක් දෙන්නැයි කාන්තාවෝ පස්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ

ඉන්දීය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියන්ට විශාල ජයක් ගෙන දෙමින්, ඉස්ලාමීය භාවිතය අනුව ක්‍රියාත්මකවන ක්ෂණික දික්කසාදය ව්‍යවස්ථාවට පටහැනි බවට එරට ඉහළම අධිකරණය තීන්දු කර තිබේ.

විනිසුරු මඩුල්ලේ 3-2 තීන්දුවෙන් පෙන්වා දෙන්නේ අදාළ භාවිතය "ඉස්ලාමීය නොවන" බවය.

තලාක් (දික්කසාදය) යන වචනය තෙවරක් කීමෙන් විනාඩි කිහිපයක් තුළදී මුස්ලිම් පුරුෂයෙකුට සිය භාර්යාව දික්කසාද කිරීමේ භාවිතයක් ඇති රටවල් කිහිපය අතරට ඉන්දියාව ද අයත් වේ.

මෙම ඓතිහාසික අධිකරණ තීන්දුව එළිදුටුවේ "තුන්වරක් තලාක්" වචනය භාවිත කෙරෙන සම්ප්‍රදායට අභියෝග කරමින් ඉදිරිපත්වූ පෙත්සම්වලට ප්‍රතිචාර ලෙසිනි.

මේ ආකාරයෙන් දික්කසාද කෙරුණු මුස්ලිම් කාන්තාවන් පස්දෙනෙක් සහ අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් දෙකක් එම පෙත්සම් ගොනු කළහ.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් අධිකරණ තීන්දුව සළකන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසිනි.

ක්ෂණික දික්කසාදය යනු කුමක් ද ?

ඉන්දියාව තුළ මුස්ලිම් පුරුෂයින් ලිපි මගින්, දුරකතනයෙන් මෙන්ම ඉහළ යමින් පවතින ප්‍රවණතාවක් ලෙස text පණිවිඩයක්, WhatsApp සහ Skype ඔස්සේ තලාක් වචනය තෙවරක් යොමු කිරීමෙන් සිය බිරින්දෑවරුන් දික්කසාද කිරීමේ අවස්ථා වාර්තා වී ඇත. අදාළ සම්ප්‍රදාය කාන්තාවන් විසින් අභියෝගයට කිරීම මත මේ සිදුවීම්වලින් ඇතැම් ඒවා අධිකරණය දක්වාම ගොස් තිබේ.

ෂරියා ඉස්ලාමීය නීතිය තුළ හෝ කුරානයෙහි තලාක් දික්කසාදය පිළිබඳ සඳහනක් නැති වුව ද දශක ගණනාවක් පුරා මේ සම්ප්‍රදාය පැවතගෙන විත් ඇත.

කුරානයෙහි දික්කසාදය පෙන්වා දී ඇත්තේ කෙසේදැයි ඉස්ලාමීය විද්වත්හු පැහැදිලි කරති. එය තුන් මසක කාලයක් පුරා දිග හැරෙන්නේ අදාළ යුවළට සමගි සන්ධානයට ඉඩ කඩ සළසා දෙමිනි.

පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු මුස්ලිම් රටවල් බොහොමයක තලාක් ක්‍රමය තහනම් කර තිබුණ ද සෑම පුරවැසියකුටම අදාළවන සේ විවාහය සහ දික්කසාදය පිළිබඳ ඒකීය නීති සම්ප්‍රදායක් නොවන ඉන්දියාව තුළ තලාක් සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙමින් පැවතියේය.

අධිකරණයේ මතය

පෙත්සම් විභාග කළ ඉන්දීය ඉහළ අධිකරණයේ 5 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් තිදෙනෙක්ම මෙම අර්බුදකාරී භාවිතය "ඉස්ලාමීය නොවන, අත්තනෝමතික සහ ව්‍යවස්ථාවට එකඟ නොවන" බව පෙන්වා දුන්හ. මෙය ඉස්ලාමයේ අත්‍යවශ්‍ය අංගයක් නොවන අතර ඉන් ආරක්ෂාවක් නොසැළසෙන බව එයින් එක විනිසුරුවරයකුවන කියුරියන් ජෝසෆ් පැවසීය.

"හිතුමතේ සහ චපල ලෙස විවාහයක් බිඳ දැමීමට" පුරුෂයෙකුට ඉඩ හැරීම "පැහැදිලි ලෙසම අත්තනෝමතික" ක්‍රියාවක් බව විනිසුරුවරු පැවසූහ.

නමුත් මීට වෙනත් මතයක් දරමින් අගවිනිසුරු ජේඑස් ඛේහාර් පැවසුවේ ව්‍යවස්ථාදායක අධිකරණයක නීතියක් මගින් පුද්ගලික නීතියක් හැසිරවිය නොහැකි බවය. මේ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීති සම්පාදනය කළ යුතු බව, ඊට ප්‍රති විරුද්ධ විනිශ්චය ද නිර්දේශ කළේය. කෙසේවෙතත්, මෙය බැඳීමක් නොවන අතර එම ගැටලුව සාකච්ඡාවට ගැනීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයකි.

Image copyright Twitter
Image caption අධිකරණයේ විනිශ්චය "ඓතිහාසික" බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය

හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දීය රජය මෙම භාවිතය අවසන් කිරීමට සහයෝගය දක්වයි. අගෝස්තු 15 වෙනිදාට යෙදුනු නිදහස් දින සිය කතාවේදී මෙන්ම අවස්ථා කිහිපයකදී අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමු කර ඇත.

Image copyright AFP
Image caption මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳ ඉදිරි පියවරක් ලෙස ක්‍රියාකාරීන්ගේ ඇගයීමට ලක්ව තිබේ


ජනතා ප්‍රතිචාරය

මෙම අධිකරණ තීන්දුව මුස්ලිම් කාන්තාවන් මෙන්ම කාන්තා අයිතිවාසිකම්වල විශාල ජයග්‍රහණයක් ලෙස පුළුල් ලෙස ඇගයීමට ලක්ව ඇත. මෙම "ඓතිහාසික" තීන්දුව අගමැතිවරයාගේ ඇගයීමට ද ලක්විණි.

මෙම අධිකරණ තීන්දුව පිළිගන්නා ලෙසත් එය දේශපාලනීකරණය නොකරන ලෙසත් එක් පෙත්සම්කාරියක වන ශයරා බානෝ ජනතාවගෙන් ඉල්ලා සිටියාය. "පවුල කැඩී බිදී යාමේ වේදනාව මා අත්වින්දා. මගේ අපේක්ෂාව කිසිම කෙනෙක් අනාගතයේදී මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ කියන එකයි" වාර්තාකරුවන්ට ඇය පැවසුවාය.

තලාක් ක්‍රමයට එරෙහිව නැගී සිටි Beebak Collective නම් සංවිධානයේ සමාරම්භක හසිනා ඛාන් මෙය හඳුන්වා දුන්නේ "ඓතිහාසික" තීන්දුවක් ලෙසිනි. "අපට අතිශයින්ම සතුටුයි. අවුරුදු ගණනාවක් පුරා මුස්ලිම් කාන්තාවන් ගැටලුවලට මුහුණ දී සිටියා" යැයි ඇය බීබීසී වෙත සඳහන් කළාය.

Image caption තලාක් ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ කාන්තාවන් අතර ශයරා බානෝ ද වුවාය

තලාක් සම්ප්‍රදායට එරෙහිව හඬ නැගු කණ්ඩායම් අතරින් භාරතීය මුස්ලිම් මහිලා ආන්දෝලන් නම්වූ කණ්ඩායමේ ක්‍රියාකාරිනී සකියා සෝමන් පැවසුවේ විවිධ ආගම්වලට අයත් ඉන්දීය කාන්තාවන් තමන්ට සහය දුන් බවය.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වෙද්දී පවා ඉන්දීය ට්විටර් ජාලය ඔස්සේ #TripleTalaq සහ #SupremeCourt හෑෂ්ටැග් සැළකියයුතු ලෙස පරිහරණය වන්නට පටන්ගත්තේය. #Tripletalaq යන හෑෂ්ටැගය ලොව පුරා ට්විටර් ඔස්සේ පරිහරණය වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර