ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටෝනි නැති හිදැස පිරවිය නොහැකියි -රවින්ද්‍ර රන්දෙනිය

වේදිකාවට සහ සිනමාවට අලුත්ම රංගන ශෛලියක් හඳුන්වා දුන් ටෝනි රණසිංහයන් ගේ වියෝවෙන් ඇති වන හිඩැස පිර වීමට හැකි කිසිවෙකු යළි බිහි නොවන බව ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙනිය පවසයි.

වේදිකාවෙන් ලද රංගන පරිචය සමඟ සිනමාවට පිවිසි ටෝනි රණසිංහ පසු කාලීනව ග්‍රන්ථකරණයට යොමු වූ අතර පරිවර්තන සහ ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක්ම ප්‍රකාශයට පත් කළේය.

මේ පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ රවින්ද්‍ර රන්දෙනිය පවසන්නේ ක්ශේෂ්පියර් නාට්‍ය කලාව පිළිබඳව ඒ සා විශාල දැනුම් සම්භාරයක් තිබු තවත් සාහිත්‍යධරයෙකු ශ්‍රී ලංකාවේ සොයා ගත නොහැකි බවයි.

‘පොත් පත් ඇසුරේම තමයි ජීවත් වුනේ. ඔහුගේ පුස්තකාලය දුටුවම හිතෙන්නේ මේක රංග ශිල්පියෙකුගේ නොවෙයි, විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකුගේ පුස්තකාලයක් කියල. ටෝනි ක්ශේෂ්පියර් රංග සම්ප්‍රදාය ගැන පෙරදිග සිටින සුවිශේෂී විශාරදයන්ගෙන් කෙනෙක්.’ රවින්ද්‍ර රන්දෙනිය බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවසීය.

වේදිකාවෙන් සිනමාවට පිය මැන ඉතා කෙටි කලක් ඇතුළත අතිශය ජන ප්‍රසාදයක් හිමි කර ගැනීමට තරම් ටෝනි රණසිංහයන් ප්‍රශස්ත රංගධරයෙකු විය.

‘ඔහු තුළින් සිනමාවට එකතු වුන ඒ ආකර්ෂණය ඒ යුගයේ කිසිම නළුවෙකුගෙන් ලැබුණේ නැහැ. සිනමාවේ රජ තුන් කට්ටුව කියල අපි හඳුන්වන්නේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ටෝනි රණසිංහ. මේ ස්ථාවරයට ඔහු මුල් යුගයේම ඇතුල් වුනා. ඒ තරම් විශිෂ්ඨ නළුවෙක් ටෝනි’ රවින්ද්‍ර රන්දෙනිය බීබීසීයට පැවසීය.

මිය යන විට හැත්තෑ හත් වැනි වියේ පසු වූ රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා හෙවත් ටෝනි රණසිංහයන් සිය රංගන දිවිය ආරම්භ කළේ වේදිකාවට පය තබමින්. ඒ 1963 වසරේදී.

අනතුරුව ගම්පෙරළියෙන් සිනමාවට ආගමනය වූ ටොනිගේ රංගනය පරසතු මල්, හන්තානේ කතාව, දුහුළු මලක්, ගඟ අද්දර වැනි නිර්මාණ රාශියකට මුසු විය.

දිවි සැරිය නිමා කළ ටෝනි රණසිංහ කලාකරුවා ගැන තවත් රංගධරයෙකු වන රවින්ද්‍ර රන්දෙනිය සමඟ බීබීසීය කළ සාකච්ඡාවේ සම්පුර්ණ හඬ පටය මෙම පිටුවේ අමුණා ඇත.