ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'හොටෙල් කැලිෆෝනියා' ගීතයෙන් ලොව පිනවූ ෆ්‍රේ දිවියට සමු දෙයි

සංගීත ලෝලීන් අතර ජනප්‍රිය 'හොටෙල් කැලිෆෝනියා' ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ සිය ජීවන වේදිකාවෙන් සමු ගනියි.

සංගීතඥයකු, ගායකයකු, පද රචකයකු සහ ගීත නිෂ්පාදකවරයකු වන ග්ලෙන් ෆ්‍රේ ලෝ වටා ජනප්‍රියත්වයට පත් වූයේ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසයි.

ඔහු මිය යන විට හැටහත් වන වියේ පසු විය.

රෝගී තත්වයේ පසු වූ ඔහු මිය ගියේ නිව්යෝක් නුවරදීයි.

සිය සගයාගේ නික්ම යෑම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් හා ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටියේ සිය ශෝකය වචනයට නැගිය නොහැකි බවයි.

'ෆ්‍රේ, අප වෙත ලබා දුන් සියලු දේ වෙනුවෙන් අප අපේ ආදරය සහ ගෞරවය පුද කර සිටිනවා' එම නිවේදනයේ සඳහන්.

ග්ලෙන් ෆ්‍රේ, ඩොන් හෙන්ලි, බර්නි ලීඩන් සහ රෑන්ඩි මේයිස්නර් එක්ව 'ඊගල්ස්' සංගීත කණ්ඩායම බිහි කළේ 1971 වසරේදීයි.

70 දශකය

Image copyright Getty
Image caption ඊගල්ස් සාමාජිකයන් සමග දකුණේ සිට දෙවැන්නාට සිටින ෆ්‍රේ ඉහළ ප්‍රතිචාර ලද ගීත කීපයක් රචනා කොට තිබේ

'ඊගල්ස්' සංගීත කණ්ඩායම, 70 දශකය තුළ සාර්ථකත්වයේ හිනි පෙත්තට ළඟා වූ සංගීත කණ්ඩායම් අතුරින් එකක්.

ඔවුන් විසින් ගයන ලද හොටෙල් කැලිෆෝනියා, නිව් කිඩ් ඉන් ටවුන්, ලයින් අයිස්, ටෙක් ඉට් ඊසි වැනි ගීත, දර්ශක තුළ පළමු ස්ථානයේ පසු විය.

ඉහත කී ගීත සඳහා ලීඩ් ගිටාරයෙන් සහ ගායනයෙන් ග්ලෙන් ෆ්‍රේ සිය දායකත්වය ලබා දුන්නේය.

එදා මෙදාතුර සංගීත ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත් 'හොටෙල් කැලිෆෝනියා' ගීතයේ පද රචනය සඳහා ග්ලෙන් ෆ්‍රේ සම දායකත්වය ලබා දී ඇත.

එසේම 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත අතරට එක් වන 'හාට්ඒක් ටුනයිට්' සහ 'ලයින් අයිස්' වැනි ගීතවල තනු නිර්මාණය කොට ඇත්තේ ග්ලෙන් ෆ්‍රේ විසින්.

පැරණි සගයන්

ඔවුන් විසින් ගයනා කොට පටිගත කරන ලද ගීත ඇල්බම් මිලියන එකසිය පනහකට අධික සංඛ්‍යාවක් ලොව පුරා විකිණී තිබේ.

1980 වසරේදී 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වෙන් වී යාමත් සමග ග්ලෙන් ෆ්‍රේ සිය ඒක පුද්ගල සංගීත දිවිය ආරම්භ කළේය.

1984 වසරේ නිෂ්පාදනය වූ 'බෙවලි හිල්ස් කොප්' චිත්‍රපටය සඳහා රචිත 'හීට් ඊස් ඕන්' ගීතය ඔහුගේ ඒක පුද්ගල සංගීත දිවියේ කැපී පෙනුණ නිර්මාණයක්.

1994 වසරේදී පැරණි සගයන් යළි එක් වූ අතර ඔවුන්ගේ විදෙස් ප්‍රසංග ඉතා ජනප්‍රියත්වයට පත් විය.

'ඊගල්ස්' සාමාජිකයකු වශයෙන් ග්ලෙන් ෆ්‍රේ ග්‍රැමී සම්මාන හයක් දිනා ගෙන තිබේ.