BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

එල්ටීටීඊ දේශපාලන නායිකා තමිලිනී පුනරුත්ථාපනයට

2012 ජුනි 22 - 12:21 GMT
එල්ටීටීඊ දේශපාලන නායිකා තමිලිනී

රිමාන්ඩ් භාරයේ පසුවූ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමිලිනී පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධවීමට අද අධිකරණයේදී කැමැත්ත පළ කරයි.

රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් ඇයට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඇය පුනරුත්ථාපන ක්‍රියාවලියේ යෙදවීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

එම දැනුම්දීම පිළිගත් කොළොඹ මහේස්ත්‍රාත්වරයා පුනරුත්ථාපනය කිරීම සඳහා සැකකාරිය වවුනියාව පූන්තෝට්ටම් කඳවුර වෙත යොමුකරන ලෙස නියෝග කළේය.

වසර තුනකට අසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකාර තමිලිනී නිදහස් කරගැනීම වෙනුවට ඇය පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට තීරණය කළේ ඇයිද යන ප්‍රශ්නය තමිලිනී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මංජුල පතිරාජ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඇයට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් නොකොට පුනරුත්ථාපනයට යොමුකිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණයට තමිලිනී එකගත්වය පල කළ බවයි.

ඇය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණයට එළඹී බවත් ඔහු ප්‍රකාශ කළේය.

2009 මැයි 17 දා, රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter