BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

ජපානය සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්

2012 අගෝස්තු 10 - 17:19 GMT
1953  පටන් ටකෙෂිමා දුපත පාලනය කරනු ලබන්නේ දකුණු කොරියාවයි

දකුණු කොරියාවේ සිටින තම තානාපතිවරයා ආපසු කැඳවීමට ජපානය පියවර ගෙන තිබේ. දෙරට අතර ආරාවුලක් පවතින දූපතක දකුණු කොරියානු ජනාධිපති ලී මයුන්ග් බක් කළ සංචාරය මුල් කොට ගෙන ජපානය මෙම තීරණය ගෙන ඇත .

එම ප්‍රශ්නය සම්බන්ධයෙන් උපදෙස් ගැනීම සඳහා තම තානාපතිවරයා කැඳ වූ බවයි ජපානය පවසන්නේ.

දකුණු කොරියාව ඩොකදෝ හැටියටත්, ජපානය ටකෙෂිමා හැටියටත් නම් කරනු ලැබ ඇති දූපත් කීපයේ අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර මතබේද පවතී.

එම දූපත් 1953 පටන් පාලනය කරනු ලබන්නේ දකුණු කොරියාව විසින්. දූපත් ගොන්න මසුන්ගෙන් සරු මුහුදු කළාපයක පිහිටා ඇති අතර , එහි ගෑස් නිධි පවතින බවද පැවසේ.

දකුණු කොරියාව දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ජපානයෙන් නිදහස ලැබීමේ 67 වැනි සංවත්සරය උදාවීමට දින කීපයක් තිබියදී යි ජනාධිපති ලී මයුන්ග් බක්, ඉහත කී දූපත් වල සංචාරයක නිරත වුනේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter