ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමන් වික්‍රමාරච්චි

මහාධිකරණ විනිශ්චයකාර, සාහිත්‍ය විචාරක සමන් වික්‍රමාරච්චි කියවන පොත විශ්ව කීර්තිධර සාහිත්‍ය වේදී මිලාන් කුන්දේරා, නවකතාව අළලා නිමැවූ විචාර ග්‍රන්ථයක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධර සමන් වික්‍රමාරච්චි ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්තේ කැළණිය විශ්ව විද්‍යාලයෙන්. ප්‍රංශ හා ජර්මන් දර්ශනය සඳහා පසු කලෙක පේරාදෙණි සරසවියෙන් ශාස්ත්‍ර සූරී උපාධිය ලද වික්‍රමාරච්චීන් සිය ආචාර්ය උපාධි නිබන්ධනය වෙනුවෙන් වෙහෙසෙන සමයක් මේ. සියවස් කාලක් තිස්සේ නඩු තීන්දු ලබා දුන් විනිසුරු වරයකු වන සමන් වික්‍රමාරච්චි වඩාත් ලේඛන කරණයේ යෙදී ඇත්තේ පුවත් පත් සඟරා වෙනුවෙන් ලියු ලිපි මඟින්. පරිවර්තන කාරියේ මෙන්ම ස්වතන්ත්‍ර නිර්මාණ කරණයේ ද නියැලි වික්‍රමාරච්චීන් ලියු විස්සකට අධික පොත් අතර වැඩි සංඛ්‍යාවක් ලියැවී ඇත්තේ විචාර ග්‍රන්ථ.

Man: A Wide Garden හෙවත් පුළුල් උයනක් වූ මිනිසා නම් කාව්‍ය එකතුව 1953 දී ලියා පළ කරමින් ග්‍රන්ථ කරණයට බට මිලාන් කුන්දේරා මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වා ඇති කවි, කෙටි කතා, නව කතා, විචාර ලේඛන හා නාට්‍ය පිටපත් සංඛ්‍යාව තිහ ඉක්මවයි. චෙක් අගනුවර ප්‍රාග් හි චාල්ස් සරසවියේ රංග කලා පීඨයේ ශාස්ත්‍රලාභී කුන්දේරා, යුරෝපීය සාහිත්‍යය සඳහා වන ඔස්ට්‍රීය සම්මානය හා චෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු උපහාර ගණනාවක හිමිකරු වෙයි. 1985 දී දිනා ගත් යෙරුසලම් සම්මානය පිළිගනිමින් කුන්දේරා කළ දෙසුමද ඇතුලත් ග්‍රන්ථයයි The Art of the Novel.