ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය ගුණපාල ධර්මසිරි

මහායාන බෞද්ධ දර්ශනය පිලිබඳ පඬිවර මහාචාර්ය ගුණපාල ධර්මසිරි පොතකින් පිටුවක් හා එක්කරන ග්‍රන්ථය සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය.

කොළඹ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය නිම කොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසෙන විටත් ගුණපාල ධර්මසිරි පාලි සංස්කෘත හා සිංහල උගතෙක්. පේරාදෙණිය සරසවියේදී දර්ශනය හදාරා ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධි හිමි කර ගත් ගුණපාල ධර්මසිරීන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් සරසවියෙන්. ක්‍රිස්තියානි දේව සංකල්පය ථෙරවාද බුදු දහම පාදක කොටගෙන අභියෝගයට ලක් කළ නිබන්ධනයක් සඳහායි ඒ. අනතුරුව ෆුල්බ්‍රයිට් ආරාධිත මහාචාර්යවරයකු ලෙසින් එක්සත් ජනපදයේ කලක් උගන්වා ඔහු පෙරලා ලංකාවට පැමිණියේ පේරාදෙණි සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙසින්. මහායාන බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කෘති බොහොමයක් සිංහලට නගා ඇති මහාචාර්ය ධර්මසිරි ලියා පල කොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව තිහකට අධිකයි. ඉන් එකක් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය.

මහාචාර්ය ගුණපාල ධර්මසිරි සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය කියවීම සඳහා ඇසුරු කළේ ආචාර්ය ලියොන් හුර්විට්ස් ගේ ඉංග්‍රීසි පෙළ. විද්වතුන් විසින් අත් පොතක් කොට ගැනෙන ලියොන් හුර්විට්ස් පරිවර්තනය ගුරු කොට ගෙන ඇත්තේ වඩාත් ප්‍රචලිත චීන ග්‍රන්ථය. චීන පෙළ ට අත්හැරුණු සංස්කෘත පාඨ ද ඇතුලත් කොට ගනිමිනුයි ආචාර්ය හුර්විට්ස් තම පරිවර්තනය කළේ. 1992 දී දිවියෙන් සමුගත් ආචාර්ය හුර්විට්ස් බ්‍රිටිෂ් කොලම්බියා සරසවියේ ආසියානු අංශයේ මහාචාර්ය වරයා ව සිටි විද්වතෙක්. පරිවර්තකයකු හා ශාස්ත්‍ර ලාභියකු ලෙසින් කලක් ජපානයේත් කල් ගෙවූ ඔහු චීන බුදු දහම පිලිබඳ විශේෂඥයෙක්.