ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ පාසලේ ප්‍රචණ්ඩත්වය සහ කුල පීඩනය 'එකිනෙක හා සම්බන්ධයි'

ඉන්දියාවේ ප්‍රධානම පෙලේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ පාසලක නේවාසිකාගාරයේ වාසය කළ ශිෂ්‍යාවකට සිය ඇඳේ මුත්‍රා කිරීමේ වරදට ඇයගේම මුත්‍රා බොන්නට අණකිරීමේ සිදුවීම පසුගිය සතියේ ඉන්දියා පුරා මහත් ආන්දෝලනයකට ලක්විය.

නොබෙල් ත්‍යාගලාභී බෙංගාලි ජාතික සම්මානනීය කිවිවර රවීන්ද්‍රනාත් තාගෝර් විසින් පිහිටුවන ලද විශ්ව භාරතී විශ්ව විද්‍යාලයට අනුබද්ධ පතා භවන් පාසලේ නේවාසිකාගාර පාලකයාටයි, මෙම චෝදනාව එල්ලවී තිබෙන්නේ.

සිය නව හැවිරිදි දැරියගේ මුත්‍රා ඇඳ රෙද්දෙන් මිරිකාගත් නේවාසිකාගාර පාලකයා, ඇයට බලහත්කාරයෙන් ඇයට මුත්‍රා පෙවූ බවට දෙමාපියෝ පොලීසියට පැමිණිලි කොට තිබේ.

බටහිර බෙංගාලයේ ශාන්ති නිකේතන නගරයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ දැරියගේ පියා මනෝජ් මිස්ට්‍රි පැවසුවේ තාගෝරයන්ගේ ශාන්ති නිකේතනයෙදීත් මෙවැන්නක් සිදුවනු ඇතැයි තමා සිහිනෙකින්වත් නොසිතූ බවයි.

"ලස්සනම දේ තමයි පොලීසිය ඒක කරපු එකා අත් අඩංගුවට ගන්නවා වෙනුවට අපි දෙන්නව අත් අඩංගුවට ගත්ත එක," ඔහු පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් රටපුරා නැගුනු ආන්දෝලනය හමුවේ දෙමාපියන් දෙදෙනාට පසුදිනම ඇප මත නිදහස් කොට නේවාසිකාගාර පාලකයා අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවිය.

ශ්‍රී ලංකාව

ඉන්දීය පොලීසියේ හැසිරීම පිළිබඳව කරුණු දක්වන ආසියානු මානව හිමිකම් කොමිසමේ හිටපු විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු පවසන්නේ ඉන්දීය සමාජයේ ප්‍රචණ්ඩත්වය සහ කුල පීඩනය එකිනෙක හා බැඳුනක් බවයි.

ශාන්ති නිකේතන විදුහලේදී දැරියට පහරදෙනු වෙනුවට නේවාසිකාගාර පාලකයා කළ යුතුව තිබුනේ දැරිය ඇඳේ මුත්‍රා කිරීම නතර කිරීම සඳහා ඇයට උපකාර කිරීම බවයි, ඉන්දීය ළමා අයිතිවාසිකම් කොමිසමේ සභාපතිනි ශාන්තා සිංහ බීබීසී හින්දි සේවයට ප්‍රකාශ කළේ. නමුත් පාසල් දරු දැරියන්ට පහරදීමේ සිදුවීම් වල වර්ධනයක් තිබෙන්නේ නොවේදැයි විමසූ විට ඇය එය ප්‍රතික්ෂේප කළේය.

පාසලේදී දරු දැරියන්ට පහරකෑමට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ගුරුවරුන් දැනුවත් කොට තිබෙන බවත්, අත් පොත් නිකුත් කොට ඇති බවත් පවසන ළමා අයිතිවාසිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සාමාජිකා ආචාර්ය හිරන්ති විජේමාන්න කෙසේ වුවත් විශේෂයෙන්ම දෙමාපියන් විසින් නිවසේදී දරුවන්ට පහරදීම තවමත් ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්ණයක් බව පෙන්වා දෙයි.

එමෙන්ම පාසලේදීත් නිවසේදීත් දරුවන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිවරියක ද වන ආචාර්ය විජේමාන්න අවධාරණය කරන්නීය.