ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිනමාවේදී සනත් ගුණතිලක

මහනුවරින් ලද පාසල් අධ්‍යාපනය නිමවා රැකියාවක් සොයා කොළඹ පැමිණි සනත් ගුණතිලකයන් සිය සිනමා ගමන ඇරඹුවේ විජය ධර්මශ්‍රී ගේ සිටු කුමරියෝ චිත්‍රපටයෙන්. සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර සිනමා කෘතියෙන් මුල් වරට සිංහල ප්‍රේක්ෂකයා හමුවට ආ සනත් එදා මෙදාතුර රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 150 ඉක්මවයි.

ජගත් සම්භාවනාවට පාත්‍රවූ ප්‍රසන්න විතානගේ සිනමා වේදියාගේ මුල්ම සිනමා නිර්මාණය 'සිසිල ගිනි ගනී' නිෂ්පාදනය කරමින් එහි තිර පිටපත රචනා කළේත් සනත් ගුණතිලක.'මායා' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඇගයුම් සම්මානයක් ලද 1985 පටන්, හොඳම නළුවා, ජනප්‍රිය නළුවා හා හොඳම සහාය නළුවා ඇතුළු භූමිකා වෙනුවෙන් ඔහු දිනු සම්මාන බොහොමයි. සිනමාවට කළ සේවය වෙනුවෙන් 2010 ගෝව සිනමා උළෙලේදී ඇගයීමට ලක්වූ ජගත් සිනමා වේදීන් පස් දෙනා අතුරින් එක් අයෙක් සනත්. එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසින් දේශපාලනයට බට ඔහු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ මාධ්‍ය උපදේශක ධුරයද හෙබැවී. දෙස් විදෙස් බුහුමනින් පුද ලද තිස්ස අබේසේකරයන්ගේ 'විරාගය' සිනමා කෘතියේ ප්‍රධාන චරිතය රඟපෑම වෙනුවෙන් 1988 දී හොඳම නළුවා ලෙසින් සම්මාන දිනු සනත් ගුණතිලකයන් අත ඇත්තේ ඊට පාදක වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාව.

කොග්ගල ප්‍රාඥයා විරුදාවලි ලත් මාටින් වික්‍රමසිංහයන් සිංහල පාඨකයාට මුලින්ම තිලිණ කළ පොත 1903 දී ළමුන් වෙනුවෙන් ලියූ 'බාලෝපදේශය'. 1914 දී 'ලීලා' ලියා පළ කරමින් නවකතා කරණයට බට ඔහු ඉන් දශක තුනක් ඇවෑමෙන් පළකළ 'ගම් පෙරළිය' නුතන සිංහල නවකතාවේ පුරෝගාමී කෘතිය සේ ගැනේ. එය 'කලියුගය' හා 'යුගාන්තය' සමග එක්වූ තුන් ඇඳුතු නවකතා පෙළක පළමුවැන්නයි.

සාහිත්‍ය විචාරය මෙන්ම ස්වාභාවික හා සමාජ විද්‍යා, වාග් විද්‍යාව, කලාව, දර්ශනය, අධ්‍යාපනය, සංස්කෘතිය, බුදුදහම හා සමයාන්තර සංසන්දන ඇතුළු පුළුල් විෂය ක්ෂේත්‍රයක හසල බුද්ධිමතකු ලෙසින් වික්‍රමසිංහයන් 1960 දී විද්‍යෝදය සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියකින් පුද ලැබී. 'හේතු වාදී' යන අන්වර්ථ නාමයෙන් දිනමිණේ ලිපි මාලාවක් ලියමින් 1916 දී පුවත් පත් කලාවට බට ඔහු දිනමිණ, ලක්මිණ, හා සිළුමිණ ඇතුළු පුවත් පත් වල දශක තුනක් නියැලි මාධ්‍ය කරණයෙන් සමුගත්තේ දිනමිණ කතුවරයා ලෙසින්. පෙර'පර දෙදිග භාෂා ගණනාවකට පෙරැළී තිබෙන ගත් ගණනාවක කතුවර මාටින් වික්‍රමසිංහ 86 හැවිරිදි වියෙන් 1976 දී සමුගන්නා විට දෙස් විදෙස් සම්මාන රැසක්ද දිනා සිටි මහා ලේඛකයෙක්. 1957 දී දොන් පේද්‍රික් සම්මානයෙන් පුද ලද විරාගය කියවන්නේ සිනමාවට නැගුනු එම කෘතියේ අරවින්ද චරිතය රඟපෑ සනත් ගුණතිලක.