ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රදීප් සංජයගෙන් පසුව ආබාධිතයන්ගේ ක්‍රීඩා අමතක කරන්න එපා - ක්‍රීඩා සංගමය

ප්‍රීමියර් ලීග ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ලබා ගැනීම සඳහා පොරකන ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ආබාධිතයන්ගේ ක්‍රීඩා සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ආබාධිතයන් සඳහා වූ ජාතික ක්‍රීඩා සම්මේලනය පවසයි.

Image copyright Pic by Hishan Welmilla
Image caption ජෑන්ස් දිසානායක පුහුණුකරු මෙන්ම සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද තමන්ට ශක්තියක් වූ බව ප්‍රදීප් සංජය පවසයි

සංගමයේ හිටපු සභාපතිවරයකු සහ පැරා ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි එම ඉල්ලීම කළේ ප්‍රදීප් සංජය විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට පැය කිහිපයකට ප්‍රථම ඔලිම්පික් ගම්මානයේදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක්, එනම් ලක්ෂ විස්සකට ආසන්න ජනකායක්, ආබාධිතයන් බව පෙන්වා දෙන සංගමය සමස්ත ලාංකීය සමාජය ඔවුන් පිළිබඳව දක්වන අවධානය සහ ආකල්ප වෙනස් කිරීමේ වගකීමෙන් ලාංකීය ජනමාධ්‍යවලට බැහැර විය නොහැකි බව අවධාරණය කරයි.

ආබාධිතයන් ලක්ෂ විස්සක්

ලන්ඩන් පැරා ඔලිම්පික් ශූරතාවලියේදී ටී46 මීටර 400 දුර දිවීමේ ඉසවුවෙන් ලෝකඩ පදක්කම දිනා පැරා ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ආබාධිත සොල්දාදුවකු වන යූඩීපී ප්‍රදීප් සංජය පසුගිය බදාදා ඉතිහාසයට එක්වුණේ ලාංකීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින්.

තමා සමඟ ළඟින්ම සිටි ජෑන්ස් දිසානායක පුහුණුකරු මෙන්ම සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එහිදී තමන්ට ශක්තියක් වූ බවයි, පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයෙන් මොහොතකට පසුව බීබීසී සංදේශය සමඟ කථා කළ ප්‍රදීප් සංජය කියා සිටියේ.

Image copyright Pic by Saroj Pathirana
Image caption ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආබාධිතයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව බ්‍රිගේඩියර් අම්පෙමොහොට්ටිගේ මතයයි

2016 බ්‍රසීලයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේදී අඩුම වශයෙන් රිදී පදක්කමක් හෝ දිනා ගැනීම තම අධිෂ්ඨානය බවද ඔහු පවසයි.

එහෙත් පදක්කම දිනාගැනීම වාර්තා කොට ඉන් අනතුරුව යලිත් වරක් ආබාධිතයන් සහ ආබාධිතයන්ගේ ක්‍රීඩා පිළිබඳව අමතක නොකරන්නැයි බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.

ඉතා අවම පහසුකම් යටතේ පුහුණුවීම් කොට දිනාගත් පදක්කමේ කීර්තිය සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයාට සහ සංගමයට හිමිවිය යුතු බව පවසන ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රදීප් සංජය ගේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව සංදේශයට පැවසීය.

එහෙත් ආබාධිතයන් පිළිබඳව ලාංකීය සමාජයේ ආකල්පමය වෙනසක් මෙන්ම ආබාධිතයන්ට ක්‍රීඩාංගන සහ පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ ආබාධිතයන් සඳහා වූ ජාතික ක්‍රීඩා සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ.

Image caption පාර්ලිමේන්තු පනතක් පවා තිබියදී බොහෝ පොදු ස්ථානවල පවා තවමත් ආබාධිතයන්ට ප්‍රවේශ පහසුකම් සපයා දී නැති බවයි බ්‍රිගේඩියර් වික්‍රමසිංහ පවසන්නේ

විශේෂයෙන්ම ආබාධිතයන්ට ප්‍රවේශ පහසුකම් සැලසීම පිළිබඳව 1996 දී පාර්ලිමේන්තු පනතක් පවා සම්මත වී තිබියදී රෝහල්, රජයේ කාර්යාල ඇතුළු බොහෝ ස්ථාන ආබාධිතයන්ට ප්‍රවේශ පහසුකම් සැපයීමට අපොහොසත් වීම පිළිබඳව සම්මේලනය කනගාටුව පළ කරයි.

එහිදීත් විශේෂයෙන්ම ජනමාධ්‍යවලට ප්‍රබල වගකීමක් පැවරෙන බවයි, බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ සඳහන් කරන්නේ.

අනාගතයේදී ඉදිකරන ක්‍රීඩාංගනවල එම පහසුකම් ලබාදෙන බවට ප්‍රතිඥා දෙන අමාත්‍ය අලුත්ගමගේ, හම්බන්තොට ක්‍රීඩාංගනයේ දැනටමත් එම ප්‍රවේශ පහසුකම් තිබෙන බවද පවසයි.