ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කෝන්වැවේ අරියරතන හිමි

ගේය පද රචක, ගත් කතුවර කෝන්වැවේ අරියරතන හිමියන් තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධ සංඝ සභාව වන සියම් නිකායෙන් බිඳී පිහිටුවාගත් රාමඤ්ඤ නිකායේ ආරම්භක ස්වාමීන්වහන්සේ දෙනමක් පිලිබඳ පොත් පිංචක්.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමියන් ගිහි කල අකුරු කළේ ඔරුක්මාන්කුලමේ කණිෂ්ටයෙන් හා ඔට්ටිමඩුව මහා විද්‍යාලයෙන්. සසුන් ගත වීමෙන් අනතුරුව ඉලුක්හේන විජේසුන්දර පිරිවෙණින් හා කලා කරඹෑව ශ්‍රී විද්‍යාධාර මහ පිරිවෙණින් සිප් සතර හදාරා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවී උපාධිලාභියකු වුයේ සිංහල, ජනසන්නිවේදනය සහ බෞද්ධ සංස්කෘතිය විෂයයන් සඳහා.

ස්වකීය සංකල්පනා එක් කොටගත් 'සඳ ගං දියේ' ගී පොතයි උන්වහන්සේගේ මුල්ම ග්‍රන්ථ කරණය. ජනකතා, ළමා කතා මෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හඳුන්වාදෙන පොතක්ද ලියා ඇති උන්වහන්සේ තෝරා ගත් පොත් පිංච උලාංකුලමේ ශ්‍රී සරණංකර හා ශාස්ත්‍රවෙල්ලියේ උපසේන ස්වාමීන් වහන්සේලාගේ චරිත අළලා කිතලව ශ්‍රී ඤානේශ්වර හිමියන් ඉකුත් සියවස මුලදී ලියූ පොතක්.

අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් සරසන්නට 1995 දී සිය මුල්ම ගී පදවැල රචනා කළ අරියරතන හිමියන් මේ වන විට ලියා ඇති ගේය පද සමුහය දෙසියය ඉක්මවයි.