ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ රෙගුලාසිවලට රටපුරා විරෝධය

ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ රෙගුලාසිවලට එරෙහිව සිඩ්නි(Sydney) ඇතුළු ප්‍රධාන නගරවල අද විරෝධතා ව්‍යාපාර දියත් කෙරෙමින් පැවති බව වාර්තාවෙයි.

මෙම විරෝධතා ව්‍යාපාර ආරම්භ කෙරුණේ ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්(Kevin Rudd) පසුගිය සිකුරාදා ප්‍රකාශයක් කරමින්, එරටට බෝට්ටු මගින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් පැපුවා නිව්ගිනියාවේ කඳවුරු කරා යවන බව නිවේදනය කිරීමත් සමඟ.

ABC ඕස්ට්‍රේලියානු ගුවන්විදුලියට අදහස් දක්වමින් සංක්‍රමණික කටයුතු භාර ඇමති ටෝනි බර්ක්(Tony Burk) කියා සිටියේ, නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමෙන් දැනටමත් ප්‍රතිඵල අත් වී ඇති බවයි.

ආණ්ඩුව තුලින්ම විරෝධය

අගමැති කෙවින් රඩ්ගේ නව සංක්‍රමණ රෙගුලාසිවලට එරෙහිව නැගී සිටින ඔහුගේ ලේබර් පක්ෂයේ ම කණ්ඩායම් පවා දේශපාලන රැකවරණ පතන්නන්ට සහයෝගය පළ කරමින්,ඔවුන් වෙනත් රටවලට යැවීමේ තීරණයට විරෝධය පළකරමින් සිඩ්නි නගරයේ උද්ඝෝෂණය කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු සරණාගත ක්‍රියාකාරිත්වයේ ප්‍රකාශක ඉයන් රින්ටූල් (Ian Rintoul) බීබීසී දෙමළ සේවය හා කතා කරමින්, දේශපාලන රැකවල් පතා එන පිරිස් මුහුදු මගින් ගෙන ඒම කෝටිපති ජාවාරමක් බවට පළ කෙරෙන ප්‍රචාර ප්‍රතික්ෂේප කළේය.