ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන්වූවන් සොයා බැලීමට තිපුද්ගල කමිටුවක්

ගැටුම් පැවති සමයේ උතුරු හා නැගෙනහිර පලාත්වල අතුරුදහන් වූවන් පිලිබඳ අවශ්‍ය විභාග සහ විමර්ශන සිදු කිරීමේ බලය පවරමින් අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා වූ තිපුද්ගල කමිටුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කොට තිබේ.

Image caption 'කොමිසම් සභා ගැන ජනතාව තුළ කිසිම විශ්වාශයක් නෑ'

මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ මේ මාසය තුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ප්‍රකාශයට පත් කොට තිබෙන අතරවාරයේ අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සැකයට හේතු වී තිබෙන බව මාධ්‍යවේදීහු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට පෙන්වා දුන්හ.

අතුරුදහන් වූවන් පිළිබඳව ආණ්ඩුවට දිගින් දිගටම රජයට ඇඟිල්ල දිගු කරන නිසා සවිස්තරාත්මකව විමර්ශනයක් කිරීමට රජය තීරණය කළ බවයි, එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉතා කෙටි කලක් ඇතුලත පරීක්ෂණය සිදු කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අතුරුදහන්වීම් සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පැවසූ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා යුද්ධය සමයේ උතුරු නැගෙනහිර පළාත්වල නීතියක් ක්‍රියාත්මක නොවූ බවත් ක්‍රියාත්මකව තිබුනේ ත්‍රස්තවාදය බවත් වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවත්, කොමිසම් සභා ගැන ජනතාව තුළ කිසිදු විශ්වාශයක් නැති බවයි, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බලන මානව හිමිකම් සංවිධාන පවසන්නේ.