අලුත් අමාත්‍යංශයට සිවිල් නිලධාරියෙක් පත් කළා නම් හොඳයි - හකීම්

23 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:33 GMT

නීතිය සහ සාමය රැකීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවන ලද නව අමාත්‍යංශයේ ලේකම් පදවියට හමුදා නිලධාරියකු පත් නොකළේ නම් වඩා යෝග්‍ය බව අධිකරණ ඇමතිවරයා පවසයි.

Image caption 'වෙනම අමාත්‍යාංශයක අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කළා'

තමා යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සිවිල් ආයතන වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන බව නිවේදනය කොට තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි එහි ලේකම්වරයා වශයෙන් පත් කොට තිබේ.

"සිවිල් නිලධාරියෙක් යටතේ මේක පත් කළා නම් වඩාත් යෝග්‍ය හැටියට අපිට දකින්න තිබුණ," බවයි, අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට කියා සිටියේ.

ජාත්‍යන්තර බලපෑම්

කෙසේ නමුත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති වූ අප්‍රසාදය නව අමාත්‍යාංශය පිහිටුවීමේ අරමුණ නොවන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

Image caption පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක්

"ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේකට හේතු වුනේ දිගින් දිගටම ජාත්‍යන්තරය හරහා ඇති වුනු බලපෑම්," යනුවෙන් ද අමාත්‍ය හකීම් පැවසීය.

විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශයක් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් ද වරින් වර එය ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දී තිබේ.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබියදී මෙම අමාත්‍යාංශය පිහිටුවීම ජාත්‍යන්තර ප්‍රජාව සැනසීමේ අරමුණින් කරන ලද්දක් දැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, ඒ පිළිබඳව එවැනි කෝණයකින් විමසනවාට වඩා කළ යුතුව තිබෙන්නේ ප්‍රමාද වී හෝ එවැනි පියවරක් ගැනීම අගය කිරීම බවයි.

කෙසේ නමුත් නව අමාත්‍යාංශය පිහිටුවීම දැඩි දෝෂදර්ශනයට ලක් කරන ආසියානු මානව හිමිකම් කොමිසම එය විග්‍රහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමක් සහ ලාංකීය සමාජය මිලිටරිකරණය කිරීමේ තවත් පියවරක් ලෙසින්.