ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වොෂින්ටන් නාවික හමුදා අණදෙන කඳවුරකට ප්‍රහාරයක්

මෙයින් ස්වල්ප වේලාවකට පෙර වොෂින්ටනයේ පිහිටි ඇමරිකානු නාවුක හමුදා කඳවුරක සිදු කෙරුණ වෙඩි තැබීමේ සිද්ධියේ දී පුද්ගලයන් ගණනාවක් මරණයට පත් ව ඇති බවයි,ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

වෙඩි පහරට ලක් වීමෙන් තවත් පිරිසක් තුවාල ලද බවත් එම වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

වෙඩි තැබීම සිදු කරන ලදැයි සැක කෙරෙන තුවක්කු කරුවකු වෙඩි තබා මරා දැමූ බව වොෂින්ටන් පොලිස් ප්‍රධානී කැතී ලැනියර්(Cathy Lanier )මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

තවත් ප්‍රහාරකයන් දෙදෙනකු තවමත් නිදැල්ලේ සිටිතැයි සිතන බවත් පොලිස් ප්‍රධානී කැතී ලේනර් ප්‍රකාශ කරයි.

ප්‍රහාරකයන් යුද හමුදාවට සමාන නිල ඇඳුමින් සැරසී සිටියත් ඔවුන්ගෙන් කිසිවකු යුද හමුදා සාමාජිකයන් යයි නොසැලකෙන බවයි වොෂින්ටනයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙන්නේ.

අනතුරට පත් සියළු දෙනා වෙනුවෙන් සිය කණගාටුව පළ කරන ජනාධිපති බරක් ඔබාමා, ප්‍රහාරය විග්‍රහ කළේ ආරක්ෂක භටයන් සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගත් තවත් මහජන ඝාතනයක් හැටියටයි.

වොෂින්ටනයේ මුහුදු ආරක්ෂණ නාවික අණ දීමේ මූලස්ථානයට එල්ල වූ ඉහත කී ප්‍රහාරයේ පළමු වෙඩි තැබීම පටන් ගෙන තිබෙන්නේ එහි කාර්ය මණ්ඩලය රැකියා සඳහා පැමිණෙමින් සිටින අතරයි.