බෝම්බ බියක් මැවූ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවේ

21 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:03 GMT

ඊයේ රාත්‍රි 7.30 ට පමණ ලන්ඩන් නගරයේ ‘ස්ටෑන්ස්ටඩ්’ ගුවන් තොටු පොළෙහි හදිසියේ ගොඩ බෑ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් A- 330 ගුවන් බසයේදී අත් අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගනිමින් ඇතැයි, එසෙක්ස් පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියි.

ලන්ඩන් නගරයේ ‘ස්ටෑන්ස්ටඩ්’ ගුවන් තොටු පොළෙහි හදිසියේ ගොඩ බෑ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගමන් කරමින් සිටි නිමල්කා ධර්මසිරි සංදේශයට කියා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් තමන් නිසි ලෙස දැනුවත්නොකල බවයි

කොළඹ සිට ලන්ඩනය කරා ලඟා වෙමින් තිබුණ යානයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගීන් දෙදෙනාගෙන් එක් අයකු ,තමන් ළඟ බෝම්බයක් ඇති බව ඔහු අසල සිටි වෙනත් මගියකුට කියා ඇති අතර, එම මගියා ඒ ගැන කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව එය හීත්‍රෝ ගුවන් තොටුපොළට නොව ‘ස්ටෑන්ස්ටඩ්’ ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

යානය හදිසි ගොඩ බෑමකට ලක් කිරීමෙන් පසු කපිතාන් වරයාගේ දැනුම් දීම අනුව ‘එසෙක්ස්’ පොලිසිය යානයට ඇතුල් වී ඉහත කී ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රකාශක දීපාල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

සැක කරුවන් සිය වීසා බලපත් කාලය ඉක්මවා අනවසරයෙන් ශ්‍රී ලංකාව තුල රැඳී සිටීම නිසා රටින් පිටුවහල් කරන ලද දෙදෙනකු වූ බවත්,ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රකාශක දීපාල් පෙරේරා වැඩි දුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගනු ලැබ සිටින දෙදෙනාගෙන් එක් තැනැත්තෙක්, රෝහල්ගත කරනු ලැබ ප්‍රතිකාර ලබමින් සිටින අතර, දෙවැන්නා ‘හාර්ලෝ’ පොලිස් අත්අඩංගුවේ පසු වෙයි.

ඉහත කී සිද්ධියට ලක් වූ A- 330 ගුවන් බසයේ මගීන් 237 දෙනෙක් ගමන් ගනිමින් සිටි බවත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවේය.