ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉඩම්, පොලිස් බලතල ලබා ගැනීමට 'සාකච්ඡා කරනවා'

නීත්‍යානුකූලව පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීම පිණිස ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වන බව මහ ඇමති පදවියට තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයේ සීවී විග්නේශ්වරන් පවසයි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ ප්‍රයත්නයක් බවට පාලක පක්ෂයේ නායකයන් කරන චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කරයි.

Image caption දෙමළ ජනතාවගේ ඉඩම්වලින් 'වහාම හමුදාව ඉවත්විය යුතුයි'

හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් එම ප්‍රකාශය කළේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව යාපනයේදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

"දෙන් නැහැ කියල කිවුවට නීතියේ ඒක තියෙනව,"යනුවෙන් ඔහු පැවසුවේ ඉඩම්, පොලිස් බලතල ඇතුළු උතුරු පළාත් සභාවේ බලතල සීමා කරන බවට ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය පිළිබඳව දිනසේන රතුගමගේ ඔහුගෙන් විමසූ අවස්ථාවේදී.

"අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මිනිස්සු හරියි කියල තියෙනවා."

ආනන්දී සශීහරන් දෙවැනි ස්ථානයට

යුද්ධයෙන් අනතුරුව ඉඩම්, වාසස්ථාන අහිමිවී සිටින දහස් සංඛ්‍යාත ජනතාවගේ සහ ඥාතීන් අතුරුදහන් වී සිටින දෙමළ වැසියන්ගේ ගැටලුවලට පිලිතුරු සොයා දීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

විශේෂයෙන්ම හමුදාව විසින් අත් පත් කරගෙන සිටින ඉඩම් වහාම අයිතිකරුවන්ට භාර දීමට කටයුතු කළ යුතු බවයි නව මහ ඇමතිවරයා පවසන්නේ.

Image caption ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව දෙජාස නායකයා පවසයි

පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී ආසන තිහක් ජයගත් දෙමළ ජාතික සන්ධානය, බොහෝ දිස්ත්‍රික්කවලදී ප්‍රකාශිත ඡන්දවලින් සියයට අසූවකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමත් විශේෂත්වයක්.

ජයග්‍රහණය පිළිබඳව සංදේශය සමඟ අදහස් දැක්වූ දෙජාස නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා, ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට තම සන්ධානය සූදානම් අතර ආණ්ඩුවද එසේ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

මහ ඇමති අපේක්ෂකයාට මනාප ඡන්ද 132,255 ක් හිමි වී තිබෙන අතර, මනාප ඡන්ද 87,870 ක් ලබාගත් ආනන්දී සශීහරන් දෙවැනි ස්ථානයට පත් වී තිබේ.

මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු මන්ත්‍රී වී ආනන්දසංගරීට හිමිවී තිබෙන්නේ ඉතා සුළු මනාප ඡන්ද ප්‍රමාණයකි.