ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නයිරෝබි සුංබුන් අතර තවත් මළ සිරුරු

නයිරෝබි ‘වෙස්ට් ගේට්’ සාප්පු සංකීර්ණයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙත්ම,සිය දරුවන් දෙදෙනාත් රැගෙන සැඟව සිටි මවක් ඉවතට ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කරන ආකාරයයි,වීඩියෝ පටයෙහි දැක්වෙන්නේ. ඔවුන් සැඟව සිටින මවට කියා සිටින්නේ, දැන් අනතුර පහ වී ඇති හෙයින් ඉවතට පැමිණෙන ලෙසයි.

ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් මරා දැමුණ ජනතාව වෙනුවෙන් කෙන්යාව ප්‍රකාශයට පත් කළ දින තුනක ශෝක කාලය මේ වන විට ආරම්භ වී ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රහාරයේදී සාමාන්‍ය වැසියන් හැට එක් දෙනකු සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් හය දෙනකු මරුමුවට පත් වූ බවයි, නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

එහෙත් තවත් පිරිසකට සිදු වුන දෙයක් තවමත් දැන ගැනීමට නැති අතර, ප්‍රහාරයේ දී මරණයට පත් තවත් අයගේ සිරුරු සුංබුන් අතර සිර වී තිබෙනු දක්නට ලැබෙන බවයි, වාර්තා වන්නේ.

විදේශ සහයෝගය

කෙන්යා ආණ්ඩුවේ ප්‍රකාශක මනෝ එසුපිසු (Manoah Esupisu) වාර්තාකරුවන්ට කියා සිටියේ, මළසිරුරු හඳුනා ගැනීම පිණිස විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බවයි.

“මෙහෙයුම අවසාන බව ජනාධිපතිතුමා ඊයේ නිවේදනය කළා. ඊළඟ පියවර සිරුරු හඳුනා ගැනීම සහ අදාළ සාක්ෂි ලබා ගැනීමයි. ප්‍රශ්නය වී තියෙන්නේ මළසිරුරු වගේ ම අදාළ සාක්‍ෂිත් සුංබුන් අතරේ සිර වෙලා තියෙන එක.”යයි කෙන්යා ආණ්ඩුවේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මළසිරුරු හඳුනා ගැනීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය , ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් පැමිණි වෝහාරික වෛද්‍ය විශේෂඥයන් කෙන්යාවේ විශේෂඥයන්ට සහාය වෙමින් සිටින බවත් වාර්තාවෙයි.