ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට වරායට ඔබ්බෙන් අලුත් දූපතක්?

හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මුහුද ගොඩ කොට අලුත් දූපතක් නිර්මාණය කිරීමේ සැලසුමක් පිළිබඳව අවධානය පළ වී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සනාථ කළ ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කෙසේ නමුත් එවැන්නකට තවමත් ආණ්ඩුවේ අනුමැතිය පළ වී නැතැයි බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

Image caption කොළඹ සහ ගල්කිස්සේ මුහුද ගොඩ කොට නව නගරයක් නිර්මාණය කිරීමේ සැලසුමකට ආණ්ඩුවේ අනුමැතිය

කොළඹ සහ ගල්කිස්සේ මුහුද ගොඩ කොට නව නගරයක් නිර්මාණය කිරීමේ සැලසුමකට දැනටමත් ආණ්ඩුවේ අනුමැතිය පළ වී තිබෙන බව පවසන අමාත්‍ය අබේවර්ධන, හම්බන්තොට නව දූපත නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු අධ්‍යයනයක් සිදු කොට නැති බව කියා සිටියේය.

සංචාරක කර්මාන්තය

එමෙන්ම සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව මිල අධික ගමනාන්තයක් බවට පත් වී ඇතැයි ලන්ඩනයේ තැපැල් සේවය නිකුත් කළ නිවේදනය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල හෝටල් කාමරවල මිල ඉතා ඉහල වීම සම්බන්ධයෙන් තමාගේද අවධානය පළ වී තිබෙන බවයි.

කොළඹ ප්‍රදේශයේ හෝටල් කාමරවල මිල මට්ටම යහපත් තත්වයක පවතින බව පවසන අමාත්‍යවරයා, ප්‍රශ්ණය පවතින්නේ කොළඹින් පිට පළාත් පිළිබඳව පමණක් බව අවධාරණය කරයි.

කෙසේ නමුත් කාමර මිල ඉහල දැමීමට හෝටල් හිමියන්ට සිදු වූයේ ආණ්ඩුව විසින් පනවන ලද අලුත් බදු නිසා බවට හෝටල් හිමියන් නඟන තර්කය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කළේය.