ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිපීඑල් පවත්වන්න ශ්‍රී ලංකාව සූදානම් - ශ්‍රී ලංකා ක්‍රිකට්

  • 2013 සැප්තැම්බර් 30

ඉන්දීය පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම්, අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

අයිපීඑල් තරඟාවලිය පැවැත්වීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද රුකුලක් වනු ඇතැයි බීබීසී සංදේශය සමඟ කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස, කෙසේ නමුත් මේ වන තුරුම ඉන්දීය පාලක මණ්ඩලයෙන් තමන්ට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ද සඳහන් කළේය.

Image caption තරඟ පාවාදීමේ චෝදනා ලැබූ ක්‍රීඩකයන් තිදෙනකුට දැනටමත් ක්‍රීඩාව තහනම් කොට තිබේ

තරඟ පාවා දීම ඇතුළු බරපතල දූෂණ වංචා චෝදනා එල්ල වී තිබෙන අයිපීඑල් ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු නැති බවට හිටපු සභාපතිවරයකුද වන අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන සභාපතිවරයා පවසන්නේ, දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ අයිපීඑල් තරඟාවලියට පමණක් නොවන බවයි.

"හැන්සි ක්‍රොන්යේ අහුවුනේ අයිපීඑල් එකෙන් නෙවෙයිනේ?," යනුවෙන් සභාපතිවරයා පෙරලා ප්‍රශ්ණයක් මතු කළේය.

ඔහු ඒ අදහස් පළ කළේ ලබන වසරේ අයිපීඑල් ශූරතාවලිය සහ ඉන්දීය මහ මැතිවරණය එකම කාලයක පැවැත්වීමට නියමිත බැවින් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ හෝ දකුණු අප්‍රිකාවේ පැවැත්වීම පිළිබඳව ඉන්දීය බලධාරීන්ගේ අවධානය පළ වී ඇතැයි සඳහන් මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා තරඟ පාවා දුන් බවට පළ කළ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍යවලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අදහසක් නොමැති බවද ජයන්ත ධර්මදාස සංදේශයට පැවසීය.

එවැනි නීතිමය ක්‍රියාමාර්ගවලින් සිදු වන්නේ ක්‍රීඩකයාගේ මානසිකත්වය තවත් බිඳ දැමීමක් බව සභාපතිවරයාගේ මතයයි.