ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පස් හැවිරිදි දියණිය දූෂණය කොට පාරට දැමූ තාත්තා

මේ මීගමුවේ නිසල දිය රැඳවුම් කඳවුරයි.

කුරා කුහුඹුවකුට වත් කිසිදු වරදක් නොකළ මල් කැකුළු විසි හය දෙනෙක් මෙහි රඳවා සිටිති.

පොලිසිය, අධිකරණය සහ ළමාරක්ෂක අධිකාරිය මාර්ගයෙන් රැඳවුම් කඳවුරකට භාර දීම පිණිස ඔවුන් කළ එකම වරද බාල වියේදීම දූෂණයට සහ අතවරයට ලක් වීම.

ජිනාලි කන්‍යා සොහොයුරිය, නිසල දිය රැඳවුම් කඳවුරේ භාරකාරවරියයි.

Image caption වැවකට යාබදව පිහිටි ගොඩනැඟිල්ල වටා මලින් පිරුණු ලස්සන ගෙවත්තක්

පස් හැවිරිදි වියේ බිලිඳියක් සිය නිවහනේ විසූ ලාබාලම දැරිය බව ඇය මා සමඟ කියා සිටියාය.

"ඒ වගේම අවුරුදු හතේ, අටේ දැරියෝ දෙන්නෙක් අපි ළඟ හිටියා. ඒ දෙන්නත් ලිංගික අතවරයට ලක් වෙලා," ජිනාලි කන්‍යා සොහොයුරිය පවසන්නීය.

"අවුරුදු පහේ දැරියගේ තාත්ත තමයි, ඒ දරුවා දූෂණය කරලා තියෙන්නේ. ඒගොල්ල පාරේ ජීවත් වෙච්ච පවුලක්. ජීවත් වෙන්න එයාලට ගෙයක් තිබිල නෑ. ඉතින් තාත්ත ගෙන් දූෂණය වුනාට පස්සේ මේ දරුවා පාරේ හිටපු අනිත් මිනිස්සුන්ගෙත් අතින් අතට ගිහින් තියෙනවා."

යහපත් එඩේරා ගේ පර්ෂදය විසින් පාලනය කෙරෙන නිසල දිය නිවහන ළමා රැඳවුම් කඳවුරක් වුවත් එය අභ්‍යන්තරය පවතින්නේ මනස්කාන්ත පරිසරයක්.

පිරිසිදු ජලයෙන් පිරුණු වැවකට යාබදව පිහිටි දේවස්ථානයක බඳු වූ ගොඩනැඟිල්ලක රැකවරණ ලබා සිටින දැරියන් විසින්ම පවත්වාගෙන යන කුඩා ගොවිපොළක් ද නිවහනට අයිතියි.

ගොඩනැඟිල්ල වටාම පවතින්නේත් ගහ කොළ සහ මලින් පිරුණු ලස්සන ගෙවත්තක්.

ව්‍යභිචාරය

1976 සිට පවත්වාගෙන යන නිසල දිය නිවහනට වැඩියෙන්ම යොමු කෙරෙන්නේ ව්‍යභිචාරයට (incest) ගොදුරු වූ දරුවන්.

Image caption 'එක දැරියක් නිවාසෙන් ගියාට පස්සේ නරක ජීවිතේකටයොමු වෙලා තියෙනව. මම හිතන්නේ එයා තාමත් කරන්නේ ඒක'

"වැඩියෙන්ම අපිට යොමු කෙරෙන්නේ තාත්ත, නැත්නම් අම්මගේ අලුත් පුරුෂයා, සහෝදරයා, නැත්නම් පවුලේ ලඟම නෑයෙක් අතින් අතවරයට ලක් වුනු දරුවෝ," ජිනාලි කන්‍යා සොහොයුරිය තවදුරටත් කියා සිටියාය.

දූෂණයට සහ ලිංගික අතවරයට ලක් වූ ශ්‍රී ලාංකීය දැරියන්ට උපකාර කිරීම සඳහාම වෙන් වුනු නෙදර්ලන්තයේ නෝනා පදනම නිසල දිය නිවහන පවත්වා ගෙන යාම පිණිස මූල්‍යාධාර සපයන එක ආයතනයක්.

එහි නිර්මාතෘ නිමල් සමන්ත සමඟයි මා නිසල දිය ළමා නිවහනට පැමිණියේ.

තමා මෙලොවට බිහි වූයේ අම්මා දූෂණයට ලක් වීම නිසා බව පවසන ඔහු, නෝනා පදනම පිහිටුවීමට තමා පෙළඹවූයේ ත් අම්මාට අත් වූ ඉරණම නිසා බව ද පවසනවා.

"අම්මාට සිද්ද වෙච්ච දේ මුලින් මට හුඟාක් මානසිකව බලපෑව. ඒත් මම එක ගැන හිත හිත ඉන්න ගියා නම් මේ දරුවන්ට උදවු කරන්න මට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. අනිත් අයට උදවු කරන්න නම් මුලින්ම මම ශක්තිමත් වෙන්න ඕන කියල මම තේරුම් ගත්ත," නිමල් සමන්ත මා සමග කියා සිටියේය.

බාල වියේදීම ළමා වියට අහිමි කරනු ලැබූ දැරියන් වෙසෙන මේ නිවහනේ දෛනික වැඩ සටහන කවරේ දැයි මා සිතේ මතු වුනේ කුතුහලයක්.

"උදේ නැගිටල කෑම ගත්තට පස්සේ දැරියෝ ටික එකතු වෙලා නිවාසය පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ එයාලට භාවනා පන්තියක් තියෙනව. මොකද මෙතන ඉන්න බහුතරය බෞද්ධ, හින්දු සහ මුස්ලිම් දැරියන්. කතෝලික දැරියෝ ඉන්නේ ටිකයි," පාලිකාව මගේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නාය.

"ඊට පස්සේ අපි අවිධිමත් අධ්‍යාපන පාඩම් පටන් ගන්නවා. උදේට පරිගණක පාඩම්. හවසට නැටුම්, සංගීතය, මැහුම් ගෙතුම් වගේ දේවල්."

ගණිකා වෘත්තියට

අපයෝජනයට ලක් වූ ලාංකීය දැරියන් වෙනුවෙන් 2005 සිට උපකාර කරමින් සිටින නිමල් සමන්ත, අප සංවාදය අතරවාරයේ සිය හදවත පෑරවූ එක් සිදුවීමක් මතකයට නැගුවේය.

Image caption අතවරයට ලක් වූ දැරියන් කඳවුරට ගෙන එන්නේ නිළ ඇඳුම් ඇඳගත් නිලධාරීන් සමඟ බන්ධනාගාර රථවලින්

"අවුරුදු පහක පුංචි දරුවෙක්ගේ අයිය ඒ දරුවා දූෂණය කරලා කියල මට අහන්න ලැබුනා. ඊට පස්සේ ඒ දරුවට වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්," ඔහු පවසයි.

"ඒක වෙන්න බෑ අයිය බොහොම හොඳ දරුවෙක් මේක උඹේ වැරැද්ද කියල අම්මල ඒ දරුවට දොස් පවරන්න ගන්නව. ඒ නිසා උඹ මේ ගෙදරින් පලයන් කියල ඒ දරුවා ගෙදරින් විතරක් නෙවෙයි සමාජයෙන්ම එලියට දානවා."

"මේ වගේ දේවලින් අන්තිමට වෙන්නේ ඒ දරුවා පාරට වැටිලා ආයෙ ආයෙත් දූෂණය වෙන එක. නැත්නම් ගණිකාවක් බවට පත් වෙන එක."

නිසල දිය ඇතුළු කඳවුරුවලට මේ දැරියන් රඳවා ගැනීමට අවසර ලැබෙන්නේ ඔවුන් දහ සය වැනි වියට එළඹෙන තුරු පමණයි. ඉන් අනතුරුව ඒ දැරියන් සමාජයට මුදා හැරිය යුතුයි.

එසේ සමාජගත කෙරෙන දැරියන් ඉන් අනතුරුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේද? නොඑසේනම් නෝනා පදනමේ නිර්මාතෘවරයා පවසන පරිදි මහපාරට වැටෙන්නේද?

"ඒ හුඟාක් දරුවෝ සාමාන්‍ය ජීවිතයකට යොමු වෙලා ඉන්නවා. ඒත් එක දැරියක් - ඒ මම එන්න කලින් - නිවාසයෙන් එලියට ගියාට පස්සේ නරක ජීවිතේකට (ගණිකා වෘත්තියට) යොමු වෙලා තියෙනව. මම හිතන්නේ එයා තාමත් කරන්නේ ඒක."

මීගමුවේ නිසල දිය ලිංගික අතවරයට ලක් වූ දැරියන් රඳවා තැබීම පිණිස පිහිටුවා තිබෙන ළමා නිවාස හතරෙන් එකක්.

දිනකට රුපියල් විස්සයි

ඉන් දෙකක් ආණ්ඩුව යටතේ පාලනය වන අතර පුණ්‍යායතන ලෙසින් ක්‍රියාත්මක වන්නේ තම කඳවුර සහ තවත් එක් නිවාසයක් පමණක් බවයි, එහි පාලිකා ජිනාලි කන්‍යා සොහොයුරියමා සමඟ කියා සිටියේ.

Image caption 'අවුරුදු පහක දරුවෙක්ගේ අයිය ඒ දරුවා දූෂණය කරලා කියල මට අහන්න ලැබුනා. ඊට පස්සේ වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්'

"ආණ්ඩුවෙන් අපිට එක දරුවෙක් වෙනුවෙන් දවසකට රුපියල් විස්සක් ගෙවනවා. ඉතින් එක කොහොමටවත් ප්‍රමාණවත් නෑ. අපේ වියදම හොයාගන්න අපිටම සිද්ද වෙලා තියෙනව."

ඔබ හිතන්නේ ආණ්ඩුව මේ දෙන මුදල වැඩි කළ යුතුයි කියලද?

"ඇත්තටම ඔවු. මම ඒක මීට කලිනුත් ඉල්ලලා තියෙනව. ඒත් තාම කිසිම ප්‍රතිචාරයක් නෑ."

වැඩිහිටි රකුසන් විසින් ළමා වියට අහිමි කරනු ලැබ සිටියත්, මේ නිසංසල සෙවනේදී ඒ දැරියන් සාමාන්‍යයෙන් ගත කරන්නේ විනෝදබර දිවි පෙවෙතක්.

ජිනාලි කන්‍යා සොහොයුරිය සහ දැරියන්ද අප සමඟ විහිළුවක් බෙදා හදා ගැනීමටත් අමතක කළේ නැහැ.

ඒත් ඒ විහිළුව යටින් සැඟවී පවතින, මේ දැරියන්ගේ කැකෑරෙන මානසික වේදනාවට පිළියම් ලැබෙන්නේ කෙලෙසින්ද?

"අපි ඒගොල්ලන්ට මානසික උපදේශන සේවා ලබා දෙනවා. ඒ වගේම චිත්‍ර ඇඳීම, නැටුම්, භාවනා පන්ති වගේ දේවල් අපි කරන්නෙත් ඔවුන්ගේ මනසට ප්‍රතිකාරයක් විදියට," පාලිකාව පවසනීය.

"ඇත්තටම වෙච්ච දේවල් අමතක කරන එක හරිම අමාරුයි. සැරින් සැරේ මේ දරුවෝ තමන්ගේ අතීතයට යනවා. ඒත් අපි ඒ ගැන වැඩිය කථා නොකර, ඒගොල්ල වෙන දේවල්වලට යොදවන්න උත්සාහ කරනවා."