ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මම හැමදාමත් හිටියේ මාතර පොලිසියේ - මංගල

ඔක්තෝබර් පස් වැනි දින මාතර හටගත් ගැටුමෙන් අනතුරුව තමන් දිනපතාම පාහේ මාතර පොලිසියේ සිටි බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, තමා අත් අඩංගුවට ගැනීමට දැරෙන උත්සාහය දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසයි.

Image caption 'මම විශ්මයට පත් වුනේ මම පසුගිය සතිය පුරාම හිටියේ පොලිසියේ නිසා'

විශේෂයෙන්ම මාතරදී සිය ආධාරකරුවන්ට ප්‍රහාර එල්ල කළ පිරිස අතර ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් එකොලොස් දෙනෙක්ද සිටි බවට පසුගිය සතියේ පාර්ලිමේන්තුව හමුවේ කළ හෙළිදරවුවෙන් අනතුරුව තමා අත් අඩංගුවට ගන්නා මෙන් පොලිසියට 'ඉහලින් නියෝග' ලැබී ඇති බවයි, සමරවීර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

ගැටුමට මන්ත්‍රීවරයාද සම්බන්ධ බවට සාක්ෂි ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව සාක්ෂි තිබේ නම් ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් මාතර අධිකරණය පොලිසියට උපදෙස් දුන්නේය.

'පොලිසිය විශ්වාස නෑ'

අදාළ උපදෙස් ප්‍රකාර මන්ත්‍රීවරයා ඇතුළු තවත් එකොලොස් දෙනකු ඉක්මනින්ම අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට පැවසීය.

තමා අත් අඩංගුවට ගැනීමට පොලිස් වරෙන්තු නිකුත් කොට තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුනේ ජනමාධ්‍ය ඔස්සේ බවයි, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශ ප්‍රධානියා පවසන්නේ.

මේ තත්වය යටතේ පොලිසිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බව පවසන සමරවීර මන්ත්‍රීවරයා, අඟහරුවාදා උදෑසන අධිකරණය වෙත ගොස් භාර වෙන බවද කියා සිටියේය.

මේ වන විට එජාප ආධාරකරුවන් තිස් හත් දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙන බව සංදේශයට කියා සිටි ඔහු, විරුද්ධ පාර්ශවයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ හත් දෙනකු පමණක් බවද සඳහන් කළේය.