ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය ඒ වී සුරවීර

සිංහල පංච මහා නවකතා කරුවන් අතරේ ලා ගැනෙන කේ ජයතිලකයන් ගේ ‘එකගෙයි අවුරුද්ද’කෙටිකතාව අගයන්නේ සම්මාන ලාභී සාහිත්‍යවේදී හා දේශපාලනඥ මහාචාර්ය ඒ වී සුරවීර.

පස් වැනි වසර දක්වා මිනුවන්ගොඩ කොරොස හා ගම්පහ විගද දෙ විදුහලින් සිංහලෙන් අකුරු කළ ඒ වී සුරවීරයන්, ඉන් අනතුරුව පිය නැගූ ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසලේදීත් කොළඹ රාජකීය විද්‍යාලයේදීත් උගත්තේ ඉංග්‍රීසියෙන්. කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වල උපාධි ලාභියකු වී ගුරු වෘත්තියට බැඳුනු ඔහු 1960 දී විද්‍යෝදය ආචාර්ය මණ්ඩලයට එක්වී. ශිෂ්‍යත්වයක් දිනා 1968 දී අමෙරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයට ගොස් ශාස්ත්‍ර ගවේෂණයේ නියැලෙද්දී යි සුරවීරයන් සිය මුල්ම කෙටිකතා සංග්‍රහය, ‘කාටත් මං එපාවෙලා’ එලි දැක්වුයේ. මුල්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී 'අනුරාධපුර සාහිත්‍ය' කෘතිය සඳහා දිනූ සම්මානයේ පටන් ඔහු අත පත් සම්මාන බොහොමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනයේ සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඉසිලූවේ මහාචාර්ය ඒ වී සුරවීරයන්.

කේ ජයතිලක

ප්‍රබන්ධ හා ශාස්ත්‍රීය කෘති හැටකට වැඩි සංඛ්‍යාවක කතුවර කළුඅච්චිගමගේ ජයතිලක ග්‍රන්ථ කරණයට බටුයේ දෛවයෝග විචාරය 1953 දී එලි දක්වමින්. ඔහුගේ මුල්ම ප්‍රබන්ධකරණය 1955දී එලි දුටු ‘පුනරුත්පත්තිය’ කෙටිකතා සංග්‍රහය. නවකතා කෙටිකතා, ළමා කතා හා විචාර කෘති ගණනාවක කතුවර කේ ජයතිලකයන්, සිය පාසල් සගයා මහගම සේකරයන් හා එක්ව නිමැවූ කාව්‍ය සංග්‍රහයයි ව්‍යංගා. නූතන සිංහල යථාර්ථවාදී නවකතාවේ පෙර ගමන් කරුවකු වන කේ ජයතිලක සත් වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද්දෙක්. කේ ජයතිලකයන්ගේ බහු සම්මානිත නවකතාව ‘චරිත තුනක්’ රූපවාහිනී මාලා නාටකයක් බවට පත් කළේ තිලක් ගුණවර්ධනයන්.