ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කපුගේ වෙන්ව ගොස් දස වසරක්

  • 2013 නොවැම්බර් 4

පීඩිත ජනතාවගේ හඬ සිංහල ගීතාවලිය තුළ සනිටුහන් කරන්නට සිය දිවිය කැප කළ අතලොස්සක් පමණ වූ කලාකරුවන් අතර අමරණීය නමක් ඉතිරි කළ අසහාය ගායක විශාරද ගුණදාස කපුගේ වියෝ වී දස වසරක්.

ගීත ගායනයෙන් ජන හද ජය ගත් කපුගේ මිතුරන් අතර වඩාත් ප්‍රකට ව සිටියේ මිනිසත් බවින් සපිරි කාරුණික හදවතක් ඇති මිනිසකු ලෙසින්.

Image caption පීඩිතයින් ගේ හඬ

ගීත රචක ලුෂන් බුලත්සිංහල සහ විශාරද නීලා වික්‍රමසිංහ පැවසුවේ කපුගේ මිතුරන් ට යමක් දුන්නා මිස මිතුරන්ගෙන් කිසිවක් අපේක්ෂා කළ අයෙකු නොවන බවයි.

ලුෂන් හා කපුගේ අතර පැවති මිතුදමේ ප්‍රතිඵලයක් ලෙසටයි “සුභ ප්‍රර්ථනා කියමන්” නමැති ගීතය සිංහල ගීතාවලියට එක්වුයේ.

‘කපුගේ නමින් වෙනම ආස්ථානයක් ගොඩනගා ගනිමින් සිංහල ගීතයට සුවඳැල් හාලේ සුවඳ කවන්නට උත්සාහ කළ අපූරු ගී තනු රචකයෙක්’ ලෙසටයි ගීත රචක බන්දුල නානායක්කාරවසම්, විශාරද ගුණදාස කපුගේ යන් හැඳින්වුයේ.

මාවතේ ගීතය කැසට් පටයට සඳහා කපුගේ ලද මුදල 1980 ජුලි වර්ජකයකු ගේ අබලන් නිවස තනා ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කල ආකාරයයි කපුගේ සතුව පැවති සානුකම්පිත ගුණගරුක බවට නිදසුනක් ලෙස ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් පැවසුවේ.

රජයේ සෞන්දර්ය විද්‍යාලයේදී කපුගේ සමග එක්ව ශිල්ප හැදෑරු විශාරද වික්ටර් රත්නායකයන් ද පැවසුවේ කපුගේ ගේ සියලු කළා කුසල තාවයන් අභිබවා ඔහුගේ මිනිසත් බව සහ සංවේදී බව ඉස්මතු වන බවයි.

'කපුගේ පීඩිත ජනතාව වෙනුවෙන් කටහඬක් වූවා පමණක් නොව ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දැක්වූ කලාකරුවකු' බවයි ගීත රචක පල්ලේගම හේමරතන හිමියන් පවසන්නේ.