ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සචින් සමඟ කතාබහක්

විවේකීව නිවසේ රූපවාහිනිය ඉදිරිපිට ගත කළ මොහොතක ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමේ අදහස තම සිතෙහි පහළ වූ බවයි, ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව වන සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ.

බීබීසියේ දකුණු ආසියානු වාර්තාකරු, ඇන්ඩ්රූ නෝර්ත් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දක්වමින් තෙන්ඩුල්කාර් කියා සිටියේ, එම අදහස ගැන තමා දිගින් දිගටම කල්පනා කිරීමෙන් අනතුරුව, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත යුතු මොහොත උදා වී ඇති බව නිගමනය කළ බවයි.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සමාජ සේවය වෙනුවෙන් වැඩිපුර නිරත වීමට කාලය ලැබෙන බව කියා සිටි සචින් තෙන්ඩුල්කාර්,රටේ ඈත පලාත්වල විදුලි බලය නැති ජනතාවට ආලෝකය ලබා දීමේ උවමනාව අවධාරණය කරයි.

“එතකොට ළමයින්ට රාත්‍රී කාලයේ පොත පත කියවන්න,අධ්‍යයන කටයුතුවල යෙදෙන්න පුළුවන්. ගෙදර දොරේ ඉන්න අම්මලාට රෑට උයන්නේ -පිහින්නේ මොනවද කියල දකින්න පුළුවන්” සචින් තෙන්ඩුල්කාර් පවසයි.

ක්‍රීඩාවේ දූෂණ

ක්‍රිකට් ක්‍රීඩාව තුළ වාර්තා වෙමින් පවතින දූෂණ ගැන විමසූ විට තෙන්ඩුල්කාර් කියා සිටියේ, ක්‍රීඩාලෝලීන්ට විශ්වසනීය මට්ටමින් තරඟ නැරඹීමට ඇති අවස්ථාව සහතික කළ යුතු බවයි.

ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පමණක් නොව හැම ක්‍රීඩාවකම දූෂණය අවසන් කළ යුතු බවයි, අනභිභවනීය වාර්තා රැසක් තබමින් විශ්‍රාම යන ක්‍රිකට් ක්‍රීඩකයා කියා සිටින්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි ඔහු සිය විශ්වාසය පළ කරයි.