ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘එකමුතු වන්න’ තායි රජතුමාගෙන් ඉල්ලීමක්

දේශයේ නාමයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන මෙන් තායිලන්ත රජතුමා සිය රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

භූමිපාල් අතුල්තේජ් අධිරාජයා,තායිලන්ත වැසියන් අතර ජනප්‍රිය එසේම ගෞරවාදරය ලබන රජ කෙනෙකි.

තායි ජනතාව රජතුමාගේ අසූ හය වැනි ජන්ම දිනය සමරමින් සිටිය දීයි ඔහු ඉහත කී ඉල්ලීම කළේ.

භූමිපාල් අතුල්තේජ් රජතුමාගේ ජන්ම දිනය මෙවර උදා වන්නේ, බැංකොක් අගනුවර පැතිර යමින් තිබුණ ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලකින් අනතුරුව සටන් විරාමයක් මධ්‍යයේ.

‘හ්වා හින්’(Hua Hin) වෙරළාසන්න නිවාඩු නිකේතනයේ පිහිටි සිය නිවසේ සිට අදහස් දැක් වූ භූමිපාල් අතුල්තේජ් රජතුමා, මහජනතාව අතර පැවති එකමුතු භාවය හේතුවෙන් තායිලන්තය සාමකාමී රටක් ව තිබුණ බවයි කියා සිටියේ.

තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනාවත් සිය සහෝදරයා වන දැනට රටින් පළා ගොස් සිටින හිටපු අගමැති තක්ෂින් සිනාවත්ගේ රූකඩයක් යයි චෝදනා කරන විරෝධතාවාදීහු අගමැතිවරිය පදවියෙන් නෙරපා හැරීම සඳහායි උත්සාහ ගනිමින් සිටින්නේ.

එම විරෝධතාවාදීන් මේ සතිය මුලදී අගමැති කාර්යාල භූමියෙහි ද රංචු ගැසෙමින් සිටි බවක් වාර්තා වුණි.