ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශුභ උපන් දිනයක් ‘ජොන්’!

අමෙරිකානු විශ්‍රාමික පැසි පන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන් උතුරු කොරියාවේ සංචාරයක නිරතවීම සහ එරට නායක කිම් ජොන් උන් වෙනුවෙන් උපන් දින ශුභ පැතුම් ගී ගායනයක නිරත වීම ලොව පුරා ජන මාධ්‍යයට මාතෘකාවක් මෙන් ම ඇමෙරිකානු බල ආයතනවල විරෝධයට හේතු වී ඇත.

උතුරු කොරියානු නායකයා මෙවර සිය උපන් දිනය සමරන ලද්දේ,ඩෙනිස් රොඩ්මන් ගේ නායකත්වයෙන් පියෝන්ග් යැන්ග් අගනුවරට ලඟා වී සිටින ඇමෙරිකානු පැසි පන්දු ක්‍රීඩකයන් කණ්ඩායමක් සහභාගී වූ ප්‍රදර්ශන තරඟයක් ද සමඟ.

ඩෙනිස් රොඩ්මන් “Happy Birthday To You”ගීය ගායනා කළේ එම තරඟය ආරම්භයේදී.

එම ප්‍රදර්ශන තරඟයේ පළමු භාගය තුළ ක්‍රීඩාවට හවුල් වූ ඇමෙරිකානු පැසි පන්දු ක්‍රීඩකයා එහි ඉතිරි අඩ ගත කළේ කිම් ජොන් උන් සහ ඔහුගේ බිරිඳ සමඟ සමව අසුන් ගෙන තරඟය නරඹමින්.

පැසි පන්දුවේ මිතුරු දහම

පියෝන්ග් යැන්ග් හි ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම තමාට පිරිනැමුණ ගෞරවයක් යයි පවසන රොඩ්මන්, එම තරඟය විග්‍රහ කරන්නේ, ඓතිහාසික අවස්ථාවක් හැටියට.

කිම් ජොන් උන් තම පෞද්ගලික මිතුරකු යයි පවසන ඩෙනිස් රොඩ්මන් මෙය පෞද්ගලික සංචාරයක් වන බවයි කියා සිටින්නේ.

කිම් ජොන් උන් හමු වූ ඉහල ම මට්ටමේ ඇමෙරිකානු ජාතිකයා ලෙස සැලකෙන්නේ ඩෙනිස් රොඩ්මන්.

සිය උතුරු කොරියානු සංචාරයේදී දේශපාලන කටයුතු වලට සහභාගී වීමෙන් වැළකී සිටීමට ප්‍රවේශම් වූ ඩෙනිස් රොඩ්මන්, තම ගමන සංස්කෘතික චාරිකාවක් යයි පවසමින්, පැසි පන්දුව පියෝන්ග් යැන්ග් පාලනය සමඟ සම්බන්ධතා වර්ධනය කිරීමට හේතු වනු ඇති බවයි කියා සිටියේ.