ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සයුර අකැප ධීවර දුක

සාගර සීමා උල්ලංඝනය කළ බවට චෝදනා නගමින් හාරසියයකට ආසන්න ධීවරයන් පිරිසක් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිර ගත කොට සිටිති.

එම ධීවරයන් ඉදිරි කාලයේ අදියරින් අදියර මුදා හරින බවයි, දෙ රටේ බලධාරීන් පවසන්නේ.

එම වැඩ පිළිවෙළේ පළමු අදියරේ දී නිදහස් කරනු ලැබුණ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් මේ වන විට ඔවුන්ගේ ගම් බිම් කරා පැමිණ සිටිති.

හලාවත ඉරණවිල සුනිල් ඇන්ටනි පවසන්නේ, තමා ඇතුළු ධීවරයන් කණ්ඩායම ජාත්‍යන්තර මුහුදේ සිටිය දී පසුගිය සැප්තැම්බර් මාසයේ විසිපස් වෙනි දින ඉන්දීය අත්අඩංගුවට පත් බවයි.

බහු දින යාත්‍රාවක කපිතාන්වරයකු වන තලවිල දුලාජ් ලක්මාල් බීබීසී සංදේශයට අදහස් දක්වමින්, මාධ්‍යයට අදහස් දැක්වීමට තරම් ශක්තිමත් තත්වයක තමා නො සිටින බවයි කියා සිටියේ.

“අපි මාස හතරක කාලයක් මැරී මැරී ජීවත් වුණා” මහවැව අමිත් තිසේරා ධීවර කාර්මිකයා පවසයි.

“අපට ලැබුණේ එක බත් කැටයයි. කුණු වූ ,පණුවන් සහිත එළවලු කන්න සිද්ධ වුනා.අපට නිකන් ඉන්න ඉඩ දුන්නේ නැහැ. පිරිසිදු කිරීමේ වැඩට බලෙන් ම යෙදෙව්වා” අමිත් තිසේරා පවසන්නේ බලවත් ආයාසයෙනි.

ධීවරයන් නිදහස් කිරීම මෙන් ම සිය යාත්‍රා ආපසු ලැබෙන්නට සැලැස්වීම තම උවමනාව බවයි, මාරවිල, තල්විල ඉන්දික ෆොන්සේකා කියා සිටින්නේ.

ඉන්දියාවේ සිර ගෙවල්වල තවත් ශ්‍රී ලාංකික ධීවරයන් සිර කර තබා ඇති අතර ඔවුන් ද මුදා හරින ලෙස එම ධීවරයන්ගේ ඥාතීහු ඉල්ලා සිටිති.