ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අධික නියඟයෙන් වගා හානි

  • 2014 පෙබරවාරි 25

ශ්‍රී ලංකාවේ පවතින අධික නියඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල වී වගාවන් මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

නියඟය ඊළඟ කන්නයේ වගාවන්ට ද තර්ජනයක් වී තිබේ.

මේ අතර රටේ වඩාත්ම ප්‍රකට අපනයන භෝගය වන තේ වගාව ද බරපතළ ලෙස හානියට පත්ව ඇති බවයි අප කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.

නියඟය ජනතාවට බලපා ඇති ආකාරය දැක බලා ගැනීමට ඔහු වයඹ පළාතේ සහ වතුකරයේ සංචාරය කළේය.

පැණි කොමඩු තවාන

අප වාර්තාකරුට ප්‍රේමසිරි ගොවි මහතා මුණ ගැහුණේ පැණි කොමඩු තවානකට වතුර දමමින් සිටි අවස්තාවකදීයි.

නියඟය හේතුවෙන් වී වගා කරන්නට නොහැකි කම හේතුවෙන් ඔහු මේ පැණි කොමඩු වගාවට පෙලඹුණේ හදිසි භෝග වගාවක් ලෙසයි.

ඇත්තවශයෙන්ම ඔහුගේ පැණි කොමඩු වගාවෙන් ද තුනෙන් පංගුවක් විනාශ වී ගොසින්.

ප්‍රේමසිරි පවසන්නේ වැස්ස ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි නිසා අනාගතය සැලසුම් කළ නොහැකි බවයි.

වී වගාවට ජල සම්පාදනය කළ වාරි මාර්ගද සිඳී ගොස් ඇති අතර බොහෝ කුඹුරු පුරන් වී ගොසින්.

සිඳුන ජලාශ

මේ වියලි පළාතේ බොහෝ වගාවන් රඳා පවතින්නේ ඉතා කෙටි මෝසම් වැසි කාලය මතයි. ඒත් මෙවර ඔවුන් වැසි ලැබීමට තරම් වාසනාවන්ත වූයේ නැත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර ආසන්නයේ පිහිටි මීටර් තුනක් පමණ ගැඹුරු ජලාශයක් සම්පූර්ණයෙන්ම වියළී ගොසින්.

එමගින් ගොවීන් හතළිස් දෙනකුගේ පමණ කුඹුරුවලට ජලය සම්පාදනය කිරීමට සැලසුම් කොට ඇත.

එහෙත් ඔක්තොම්බර් සහ දෙසැම්බර් යන මාස වල දී වර්ෂාව නොලැබීම නිසා මෙවර කිසියම් හෝ වගාවක් කිරීමට හැකිවී ඇත්තේ ගොවීන් හතළිස් දෙනාගෙන් හත් දෙනකුට පමණි.

වී වගාවට අත ගැසීමට හැකි වී ඇත්තේ ඔවුන්ගෙන් දෙදෙනෙකුට පමණයි.

ගොවීන් ලැබෙන ජලය සියල්ල එක් කොට කළමනාකරණය කොට ප්‍රයෝජනය ගැනීමට සැලසුම් කලත් එය ද සාර්ථක වී නැත.

දයානන්ද තවත් බලාපොරොත්තු සුන් වූ ගොවි මහතෙක්. ඔහු අක්කර හතරක වී වගා කළත් වැසි නොලැබීම නිසා ඒ සියල්ල විනාශ වී ගොසින්. ඔහුගේ වගාවේ කොළ පාටින් ගොයම් ගස් දිස් වුනත් කරල් වල වී ඇට දකින්නට නැත.

උඩරට කඳුකරයේ තේ කර්මාන්තයට ද අත්ව ඇත්තේ එකම ඉරණමයි.

මැරී යන තේ ගස් බේරා ගැනීමේ උත්සාහයක යෙදෙන හතලේ වතු යායේ සේවකයන් දැන් තේ ගස් වලට වතුර දැමීමට පටන් අරන්.

දරුනතම නියඟය

තේ වතුයායේ අයිතිකරු ඉහිතිෂාම් පවසන්නේ මෙය එක් දහස් නවසිය අනු තුනෙන් පසු මුහුණ දුන් දරුනතම නියඟය බවයි.

තේ වගාවෙන් තුනෙන් දෙකක්ම අහිමි ව ඉතාමත්ම නරක තත්වයක තත්වයකට තමන් මුහුණ දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් දිනකට තේ දළු කිලෝ තිස් පහක් හෝ හතළිහක් හෝ පමණ නෙළන නමුත් අද වන විට කැඩීමට හැකිවී ඇත්තේ කිලෝ දොළහත් දහතුනත් අතර ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ. තේ පැළ මැරී යන බවයි තේ වතුයායේ අයිතිකරු ඉහිතිෂාම් කියා සිටින්නේ.

තවත් සති කිහිපයකින් වැසි ඇද වැටෙන ලෙස ඉල්ලා ජනතාව දෙවියන්ට යාඥා කරමින් සිටියත් නියඟය පවතින තුරු තේ පැළ වලට වතුර දැමීමට සිදුව තිබේ.

වියලි කාලගුණය පවතින ප්‍රදේශවල වන සතුන්ට ද කෑමට ආහාර නොමැති තත්වයක් උදාවී තිබේ.