ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘පල්ලිවලට පහර දීම විදෙස් කුමන්ත්‍රණයක්’

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට අසාධාරණ යෝජනාවක් ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සර්ව ආගමික එකමුතුවක් වන ජාතික හිමිකම් සංවිධානය කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත් කළේය.

පසුගිය කාලයේ මුස්ලිම් සහ කතෝලික ආගමික ස්ථානවලට එල්ල වූ ප්‍රහාර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒම සඳහා විදේශ බලවේග සිදු කළ කුමන්ත්‍රණයක් බව මෙම විරෝධතාව මෙහෙයවූ බෙන්ගමුවේ නාලක හිමියෝ බීබීසීයට පැවසුහ.

'උපක්‍රම'

"පොඩි පොඩි සිදුවීම් සිදු වෙලා තියෙනවා නොදන්න කමට, මෝඩකමට. නමුත් බහුතරයක් හැටියට සියුලු දෙනා සමගිව ජීවත්වෙනවා, සමහර විට මේ ඉඳල හිටලා වෙන සිදුවීම් උපක්‍රම වෙන්න පුළුවන්. විදේශ බලවේගවල උපක්‍රම වෙන්න පුළුවන් පල්ලියකට ගහන එක" බෙන්ගමුවේ නාලක හිමියෝ තවදුරටත් පැවසුහ.

විරෝධතා කරුවන් පැමිණෙද්දී තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දොරටුව අවහිර කිරීමට පොලිසිය කටයුතු කළ අතර එම අවස්ථාවේ දී පොලිසිය පැවසුවේ එකසත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙකු පැමිණ විරෝධතාකරුවන්ගේ සංදේශය බාර ගනු ඇති බවයි.

'ජාතික හිමිකම්'

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ බෙන්ගමුවේ නාලක හිමියන් පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට එරෙහිව ගෙන එන යෝජනාවක් බවයි.

"අපි මේ වෙලාවේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් වලට මුවාවී අපේ ජාතික හිමිකම් වලට ඇඟිලි ගහන්න එපා කියලයි." බෙන්ගමුවේ නාලක හිමියෝ පැවසුහ.

මුස්ලිම් පූජක හසන් මව්ලානා අදහස් දක්වමින් පැවසුවේ එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරවමින් අහිංසක ජනතාව මරා දැමූ අවස්ථාවේ දී මෙම මානව හිමිකම් කොමිසම නිහඬව සිටි බවයි.

උදෑසන 10ට පමණ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටින් ආරම්භ වුනු මෙම විරෝධතා පාගමනට භික්ෂූන් වහන්සේ සියයකට ආසන්න පිරිසක් සහ හින්දු, මුස්ලිම්, කතෝලික ආගමික නායකයෝ පිරිසක් ද එක්ව සිටියහ.